Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වයස 102යි රන් පදක්කම් 32යි

Author(s): 
ෆවුස් මොහොමඩ්

වයසට යාම කියන්නේ ජීවිතයේ අන්තිම කාලය... සැඳෑ සමය කියලා... කවුරුත් කිව්වට කිසිම බලාපොරොත්තුවක් නැති... පොදි බඳින්නට ආශාවන් නැති... දරකෝටු වගේ ඉපල්වුණු අත්පා ඇති... තනිවම කිසි දෙයක් කරගන්න බැරි කාල සීමාවක් කියලා...කවුරුත් කිව්වට.... මහළු විය කියන්නේ හරිම අපූරු චමත්කාරජනක කාල පරාසයක්. ආයේ වැරැද්දක් නොකරන්නට තරම් අත්දැකීම් සම්භාරයක් එකතුවුණු ජීවන කඩඉමක්..

ඒහෙත් අවුරුදු හැටක්... හැත්තෑවක්... අසූවක් නෙවෙයි... එහෙම පිටින්ම අවුරුදු සියයක් ඉක්මවූ මහළු මිත්තණියකට තවත් අඩු මොනවද..? ජීවිතය ගැන බලාපොරොත්තුවක්... අනාගතයක් ගැන සිහිනයක් මවන්නටවත් පුළුවන් වයසක් ද..?

ඒත් ඒ හැම දෙයක්ම හිස් වචන පේළි විතරයි කියලා ඔප්පු කළේ ඉන්දියාවේ පන්ජාබයේ මාන් කෝවුර්. ඇගේ වයස අවුරුදු 102යි.

‘මගේ වැඩේ දුවන එක..මම දිගටම දුවනවා..‘

ජීවිතය ගැන බලාපොරොත්තු පොදි බඳින වයසක් ද මේ..? දරු මුනුපුරෝ පවා ජීවිතුන් අතර නැතුව ඇති. ඒත් මේ මිත්තණිය අහස උසට බලාපොරොත්තු ගොඩනගනවා. ජිවිතය දිනන්න තව තවත් හීන මවනවා.

මාන් කෝවුර් කියන්නේ මීටර් 100 ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරග බිමේ රන් පදක්කම් දිනන වයස්ගතම ක්‍රීඩිකාවයි. වයස කියන්නේ සිහින ජයගන්නට බාධාවක් නෙවෙයි කියලා ඇය හරි අපූරුවට ලෝකයට කියාදෙනවා. මහළු වියට එළැඹීම ගැන පසුතැවිලි වෙන ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ට ඇය කදිම අභිප්‍රේරණයක්.

අවුරුදු 100ත්, 104ත් අතර වයස් කාණ්ඩයේ ලෝක ධාවන ශූරිය ඇයයි. මීට මාස දෙකකට කළින් ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 රන් පදක්කම ඇය දිනාගත්තේ මිනිත්තු 3කුත්, තත්පර 14කින් තරගය නිමා කරමිනුයි. මීටර් සියය ඇය නිමා කළේ තත්පර 70කින්.

අවුරුදු සියය පැන්නත්... අත් හැරීම කියලා වදනක් ඇගේ මනසේ ඇත්තේම නෑ. ඇගේ දින චර්යාව එක අතකින් ඕනෑම වයසක පසුවන අයට කදිම ආදර්ශයක්. ඇය දිනපතා අවදිවන්නේ පාන්දර 4.00ටයි. උදේ 7 වෙද්දී ඇය ස්නානය කර, ඇඳුම් සෝදා දමා උණුසුම් තේ කෝප්පයකත් රස බලා අවසානයි. ඊළඟට එළැඹෙන්නේ ඇගේ දෛනික ජිවිතයේ දෙවියන් නැමදීමේ කාලයයි. සික් ජාතික මේ මිත්තණිය ආගමික කටයුතුවලටත් දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්.

ඒ සියළු වැඩකටයුතුවලින් පස්සේ ඇය දුවන්නේ ක්‍රීඩා පිටියටයි. එහිදී ඇය පැයක පමණ පුහුණුවීම්වල නිරතවෙනවා.

සැබැවින්ම ඇයට අවුරුදු 102යිද..?

ඔබට එසේ සිතෙන්නට පුළුවනි. වයස තහවුරු කිරීමේ හොඳම නිදසුන ඇගේ වැඩිමල් පුත්‍ර රත්නයයි. ඔහුගේ උප්පැන්න සහතිකය නිකුත් කර තිබෙන්නේ මිට අවුරුදු 82කට කළිනුයි. එහි මවගේ වයස සඳහන් වී ඇත්තේ අවුරුදු 20ක් ලෙසිනුයි. ඒ 82 හැවිරිදි පුත්‍රයා ගුරුදේව් සිං තමයි මවගේ පුහුණුකරු හා දිරිගන්වන්නා.

විස්මිත දස්කම් ඇති මේ මිත්තණිය කුඩා වියේදිම ක්‍රීඩාවට යොමු වන්නට ඇතැයි කවුරුත් සිතුවත් සැබැවින්ම ඇය දුවන්න පුරුදු වුණේ අවුරුදු 93දීයි. එය පුදුම සහගත කාරණාවක්.

‘අවුරුදු 93ක අම්මට දුවන්න පුරුදු කළේ කාරණා දෙකක් නිසා.‘ පුතා එහෙමයි කියන්නේ.

‘එකක් එයා දුවන්න හරි කැමැත්තෙන් හිටියා. ඒ වගේම ඇය ශක්තිය රඳවා තබාගන්න එය ඉවහල් වෙන නිසා. මම ඇය ක්‍රීඩා පිටියට එක්කරගෙන ගිහින් මීටර් 400 දුවන්න කිව්වා. සෙමින් වුණත් ඇය ඉතා හොඳින් එය නිමා කළා. එතකොට මට හිතුණා. ඔව් එයාට පුළුවන් කියලා.‘

කැනඩාවේ තිබුණු ලෝක ප්‍රවීණයන්ගේ තරගයක මීටර් සියය ඇය ජයගත්තේ තත්පර 81කින් නිමා කරමිනුයි.

‘ඒ තරගයෙන් පස්සේ ඇයට පුදුම උනන්දුවක් ඇතිවුණා. මොකද ගොඩාක් අයට එයා එක්ක ෆොටෝ එකක් ගන්න ඕන වුණානේ.‘ පුහුණුකාර පුතා කියනවා.

තමා ක්‍රීඩාවට දක්ෂයි කියලා දැනගන්නවත් මේ මිත්තණියට ක්‍රීඩාවට යොමු වෙන්න අවස්ථාවක් කවදාවත් තිබුණේ නෑ. ඇය උපන්නේ 1916දි බ්‍රිතන්‍ය අධිරාජ්‍යයට ඉන්දියාව යටත්ව තිබූ යුගයකයි. ඇයට උපත දී අම්මා ජීවිතයෙන් සමුගත්තාට පසුව ඇය හැදුණේ වැඩුණේ පිය පාර්ශ්වයේ ආච්චි අම්මා ළඟයි. කුඩා වියේදි ඇය පාසල් යවන්නට ආච්චි අම්මා උත්සාහ කළත් අධ්‍යාපනයට කිසිම උනන්දුවක් නොදැක්වූ මාන් ඊට කැමැති වුණේ නෑ. ඇයට ඕන කළේ ඉක්මනින්ම මුදල් උපයන්නටයි.

ඒ කාලයේ දී මුදල් උපයාගැනීම සඳහා පිජාමා සඳහා භාවිත කරන රෙදි විවීමේ වැඩපළක සේවය කළ කාලයත්, තිරිඟු ඇඹරීමේ කටයුතුවල නිරතවූ කාලයත් ඇයට තවමත් සිහිපත් කරනවා.

1930 ගණන්වල මුල් භාගයේ බිරින්ඳෑවරු 360ක් සිටි බව කියන දකුණු පන්ජාබයේ පටියලා මහරාජගේ මාළිගාවේ ආයම්මා කෙනෙක් විදිහටත්, මෙහෙකාරියක් විදිහටත් ඇය සේවය කළා කියලයි කියන්නේ. ඇයට ඒ රැකියාව ලැබී ඇත්තේ ඉතා රසට ආහාර පිළියෙළ කරන්න හැකියාව තිබුණු නිසයි. 1934දී විවාහ වුණු මාන් දරුවෝ තුන්දෙනකුගේ අම්මා කෙනෙක්. පසුකාලෙක ඇය නගරයේ බොහෝ නිවාසවල කෝකියෙක් විදිහටත් රැකියාවේ නිරතවුණා.

අවුරුදු 93දී ක්‍රීඩාවට යොමු වුණාට පස්සේ ඇය මීටර් 100, 200 තරගවලින් සෑහීමකට පත්වුණේ නෑ. හෙල්ල වීසි කිරීම, යගුලිය දැමීම වගේ ක්‍රීඩාවලටත් එකතු වුණා. මේ අවුරුද්දේ නවසීලන්තයේ පැවැති ප්‍රවීණයන්ගේ තරගාවලියකදී අඩි 16ක දුරකට හෙල්ල වීසි කිරීමෙන් වාර්තාවක් බිහිකිරීමටත් ඇය සමත්වුණා.

මීට අවුරුදු දෙකකට කළින් මීටර් 100 ඇගේ කාලය තත්පර 74කට අඩුකරගත් ඇය මේ වනවිට එය තත්පර 70 දක්වා අඩු කරලයි තියෙන්නේ. සිය වේගය වැඩි කරගෙන එම කාලය තවත් අඩුකරගන්නයි දැන් ඇගේ උත්සාහය. ඒ වෙනුවෙන් ඇය දෛනිකව පුහුණුවීම්වල නිරතවෙනවා. සතියට දවස් තුනක් හෙල්ල හා යගුලිය වීසි කිරීම පුහුණු වෙනවා.

‘වැහි හුළං ඇති දවස්වලට මං පිට්ටනියට නොගිහින් ජිම් එකට යනවා. ‘ මිත්තණිය එසේ කියනවා.

ඇගේ ආහාරවේලත් ඒ අනුවම හැඩ ගැසුණු එකක්. උදෑසනම සෝයා කිරි වීදුරුවක්, පළතුරු යුෂ පානය කරන ඇය පෙරවරු 11ට පමණ පරිප්පු සහ එළවළු සමග ඉන්දියානුවන්ටම ආවේනික ‘චපාති‘ ආහාරයට ගන්නවා. ආපසු හවස 4ට කජු මිශ්‍රිත තිරිඟු පිටිවලින් තැනූ කැඳ වීදුරුවක් පානය කරනවා. රාත්‍රියේදී නැවත එළවළු සමග චපාති සහ සෝයා කිරී වීදුරුවක්.

ජීවිතය කියන්නේ හරියටම චක්‍රයක් වගේ කියලා කියන්න පුළුවන් හොඳම උදාහරණයක් මාන්ගේ ජීවිතයේ තියෙනවා. තරුණ වියේදී පටියලා මාලිගාවේ රුපියල් දහයේ වැටුපකට (අද කාලේ හැටියට ශත 15ක් වගේ) මෙහෙකාරියක් විදිහට වැඩකළ ඇය ඊට වසර අසූවකට පමණ පසුව යළි මාලිගාවට පා තබන්නේ ආරාධිත අමුත්තියක් විදිහට කාගෙත් ගෞරවය මැදයි.

මීට අවුරුදු දෙකකට කළින් කැනඩාවේදි මීටර් සියය ජයගැනීමෙන් පස්සේ පටියලා නගරයේ කිලෝමීටර් 5ක තරගයකට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ වගේම පටියලා මාළිගාවේ ආහාරපාන සමග රැයක් ගත කිරීමටත් ආරාධනා ලැබුණා. දෛවෝපගත කාරණාව කියන්නේ එදා රාත්‍රියේ ඇය නින්දට ගියේ තරුණ කාලයේ ඇය සේවය කළ රැජනගේ නිදියහනේ. මේ වනවිට කැනඩාව, මැලේසියාව, නවසීලන්තය, සිංගප්පූරුව හා තායිවානයේ තරගවලට සහභාගි වී ඇති මාන් රන් පදක්කම් 32කට හිමිකම් කියනවා. ඇගේ දැන් බලාපොරොත්තුව 2020දී ජපානයේ ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගැනීමයි.

අවුරුදු 102ක් වුණත් ඇය දැන් ලෝක ශූරියක්. තවමත් දීප්තිමත් තරුවක්. ඇයට ඇගේ වයස ගැන හිතන්නවත් කාලයක් නෑ.

ජීවිතය දිනන්න වයස අදාළ නෑ. මහළු විය කියන්නේ හිස් වචනයක් විතරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();