ග්රාමීය ක්රීඩක ක්රීඩිකාවන් ජාතික තලයට ඔසවා තබමින් ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්රහයෙන් 13 වැනි වරටත් සංවිධාන කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග හෙට (15) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වේ.
විවෘත සහ අවුරුදු 22න් පහළ ලෙස පිරිමි හා කාන්තා අංශ දෙකකින් පැවැත්වෙන තරගාවලිය අවුරුදු 22න් පහළ කාන්තා තරගයෙන් පෙ.ව.9.00ට අවසන් තරග ආරම්භ වෙයි. තරගාවලියේ ප්රධාන ආරාධිතයා ලෙස ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහභාගිවීමට නියමිතය.
රටපුරා කණ්ඩායම් 4000ක් තරගාවලියේ මූලික වටයේදී තරග වැදුණ අතර එහි ජයග්රාහකයන් දිස්ත්රික් තරගවලටද ඉන් ජයගත් කණ්ඩායම් අවසන් තරග සඳහා එක්වෙයි.
විවෘත පිරිමි අංශයේ අවසන් තරගයේදී 2016 වසරේ ශූරයන් වූ බලරැස් ක්රීඩා සමාජය සමගින් පස්වරක් ශූරතාව දිනා ඇති ගම්පහ සියනෑතරු ක්රීඩා සමාජය තරග වැදීමට නියමිතය. බලරැස් ක්රීඩා සමාජය පසුගිය වසරේ තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට ගියේ තෙවැනි ස්ථානයට පත්වෙමිනි. පසුගිය වසරේ පිරිමි විවෘත අංශයේ ශූරයන් වූ කටාන එක්සත් ක්රීඩා සමාජය සහ අනුශූරතාව හිමිකරත් නාත්තන්ඩිය යුනයිටඩ් ක්රීඩා සමාජය මෙවර අවසන් පූර්ව වටයට හෝ එක් නොවීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.
විවෘත කාන්තා අංශයේ ශූරියන් ලෙස කොස්වාඩිය විජය ක්රීඩා සමාජය අවසන් තරගයට එක්වන අතර පසුගිය වසරේ අනුශූරතාව හිමිකරගත් සියඹලාගොඩ කපිල ක්රීඩා සමාජයට මෙවර සිවුවැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය.
විජය ක්රීඩා සමාජය පසුගිය වසරේ ශූරතාව දිනා ගත්තේ පිට පිට තෙවැනි වරටය. ඔවුන් අවසන් තරගයේදී කුරුණෑගල දිස්ත්රික්කයේ කැෂුවල් ක්රීඩා සමාජය හමුවෙයි.
මෙවර තරගාවලිය අවුරුදු 22න් පහළ වයස් කාණ්ඩය සඳහා විශේෂ තරගාවලියක් වී තිබේ. ඒ ලබන වසරේ ආසියානු තරගාවලිය පැවැත්වෙන්නේ 22න් පහළ තරගාවලියක් ලෙස බැවිනි.
එම තරගවලදී රුවන්වැල්ල රාජසිංහ ක්රීඩා සමාජය නාත්තන්ඩිය ධම්මිස්සර ක්රීඩා සමාජය සමග පිරිමි අවසන් තරගයේදීත්, මහඋස්වැව රතනපාල ක්රීඩිකාවෝ කෑගල්ල ඇලමෝනා ක්රීඩිකාවන් සමගත් තරග බිමට පිවිසෙති.
පසුගිය වසරේ අවුරුදු 22න් පහළ පිරිමි අංශයේ ශූරයන් වූ නාත්තන්ඩිය යුනයිටඩ් ක්රීඩා සමාජය සහ අනුශූරයන් වූ හුංගම විජයබා ක්රීඩා සමාජය සමගින් කාන්තා අංශයෙන් ජයගත් ගලිගමුව බෝයගම සිරි පැරකුම් සහ අනුශූරතාව දිනාගත් කුරුණෑගල කැෂුවලයින් ක්රීඩා සමාජයත් අතුරින් මේ වසරේ අවසන් සටනට එක්වීමට කිසිදු කණ්ඩායමක් සමත් නොවූ අතර අවසන් පූර්ව වටයට හෝ පිවිසිය හැකිවූයේ හුංගම විජයබා ක්රීඩා සමාජයට පමණි. ඔවුන්ටද මෙවර සිවුවැනි ස්ථානයෙන් නතර වීමට සිදුවිය.
විවෘත අංශයේ ජයග්රාහී කණ්ඩායම් වලට රුපියල් 150,000 බැගින් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් 100,000ක්ද තෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 50,000ක්ද ප්රදානය කෙරේ.
අවුරුදු 22න් පහළ ජයග්රාහකයන්ට රුපියල් 100,000 බැගින් පිරිනැමෙන අතර දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් 50,000ක් හා රුපියල් 25,000ක් බැගින් හිමිවෙයි.
අවසන් තරග සටහන
පෙ.ව. 9.00 අවුරුදු 22න් පහළ කාන්තා
මහඋස්වැව රතනපාල ක්රීඩා සමාජය
කෑගල්ල ඇලමෝනා ක්රීඩා සමාජය
පෙ.ව.11.00 අවුරුදු 22න් පහළ පිරිමි
රුවන්වැල්ල රාජසිංහ ක්රීඩා සමාජය
නාත්තන්ඩිය ධම්මිස්සර ක්රීඩා සමාජය
ප.ව.01.00 විවෘත කාන්තා
කුරුණෑගල කැෂුවල් ක්රීඩා සමාජය
කොස්වාඩිය විජය ක්රීඩා සමාජය
ප.ව.03.00 විවෘත පිරිමි
ගම්පහ සියනෑතරු ක්රීඩා සමාජය
කොළඹ බලරැස් ක්රීඩා සමාජය
0 Comments