සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට වෙලින්ටන් නුවර බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන්නන් අමන්දානන්දයට පත් කරන වසන්තය උදාවනු ඇතැයි නවසීලන්ත පිලේ වේගපන්දු තුරුම්පුව වන ටිම් සවුති පවසයි.
මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් භාගයේදී එංගලන්තයට එරෙහිව ක්‍රයිස්චර්ච් නුවර දී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසුව නවසීලන්තය සිය භූමියේදී ටෙස්ට් තරගයට එක්වන පළමු අවස්ථාව මෙය වේ. පසුගියදා පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගමාලාවකට ක්‍රීඩා කළ නවසීලන්ත පිල නැවත සිය රටේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීම සතුටට කරුණක් බව ද සවුති කියා සිටී.
නවසීලන්ත පිලේ වේගපන්දු යවන්නන් ත්‍රිත්වය වන ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට් සහ නීල් වැග්නර් හෙට එකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ දිගු කාලයකට පසුවය. පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරගමාලාවේදී නවසීලන්ත පිල වැඩි අවධානය යොමු කර තිබුණේ දඟපන්දු යවන්නන් කෙරෙහිය.
කොළපැහැති තණකොළ පිරුණු බේසින් රිසර්ව් තණතීරුවේදී මේ වේගපන්දු යවන්නන් තිදෙනා නැවත සුපුරුදු දස්කම් දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර එය සවුතිගේ සතුටට කරුණක් වී තිබේ.
‘නැවත වතාවක් අපට සුපුරුදු තණතීරුවේ ක්‍රීඩා කිරිමට අවස්ථාවක් ලැබීම සතුටක්. අපි පසුගිය දිනවල ක්‍රීඩා කළේ වේගපන්දු යවන්නන්ට කොහෙත්ම පහසු නොවන තණතීරුවලයි. ඒ නිසා හෙට ඇරැඹෙන ටෙස්ට් තරගමාලාව වේගපන්දු යවන්නන්ට නැවත වසන්තය උදාකරනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
එසේ වුවත් තණකොළ සහිත මේ තණතීරුවේ වැඩිපුර අනාවැකි පළ කිරිමට සවුති ඉක්මන් නොවීය. ශ්‍රී ලංකා පිල අවසන් වරට මේ තණතීරුවේ ක්‍රීඩා කළ 2015 ජනවාරි ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර 2017 ජනවාරියේ බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් බේසින් රිසර්ව් තණතීරුවේ ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත්විය.
‘මේ තණතීරුවේ තණකොළ වැඩිපුර තිබීම සතුටක්. ඒත් මට මතකයි පසුගිය වසරේ බංග්ලාදේශය මේ තණතීරුවේදී ඔවුන්ගේ පළමු ඉනිමට ලකුණු 500 ගණනක් රැස් කළා. තරගය ආරම්භ වනතුරු තත්ත්වය කොහොම වේවිදැයි කියන්න බෑ.‘ සවුති කියා සිටියේය.
0 Comments