'ඉන්සයිට්' යානය රතු ග්‍රහයා මතට සාර්ථකව ළඟා වීම නාසා ආයතනය ඔල්වරසන් දෙමින් සමරනු ලැබීය.
සැලසුම් කළ පරිදි මීට මාස හයකට පෙර අඟහරු බලා පෘථිවියෙන් පිටත් වූ 'ඉන්සයිට්' යානය පෙරේදා පස්වරුවේ අඟහරු මතට ළඟා වෙද්දී ලොව පුරා මිලියන ගණනක ජනතාව එය සජීවීව නිරීක්ෂණය කළහ. සියුම් ගණනය කිරීම් අනුව මෙම ගොඩ බෑම සිදු කළ අතර එය ග්‍රිනිච් වේලාවෙන් පැය 19. 53ට අඟහරු මත ගොඩ බෑමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කර තිබුණි. ඒ සඳහා විශේෂ පැරැෂූට් කට්ටල යොදා ගැනුන අතර යානය පතිත කිරීම සිදුවූයේ නාසා විද්‍යාඥයන් විසින් කලින් තෝරා ගනු ලැබ ඇති විශේෂ ස්ථානයකටය.
‘ඉන්සයිට්’ රොබෝ යානයේ මූලික අරමුණ අඟහරු පෘෂ්ඨය සිදුරු කර, පාෂණ ස්ථර ගවේෂණය සහ අඟහරු මතුපිට හටගන්නා භූ කම්පන ගැන අධ්‍යයනය කිරීමය. ලබා ගන්නා දත්ත රේඩියෝ සංඥා ලෙස පෘථිවි විද්‍යාඥයන් වෙත ලැබෙන්න සලස්වයි.
ඉන්සයිට් ගවේෂණ යානය අඟහරු පොළොව හාරා ලබා ගන්නා දත්ත මගින් අඟහරු ග්‍රහයා නිර්මාණය වූ හැටි සහ අඟහරු ග්‍රහයාගේ පරිණාමය පමණක් නොව අඟහරු, පෘථිවිය, සිකුරු, බුද වැනි පාෂාණමය ග්‍රහයන්ගේ පැවැත්ව සම්බන්ධයෙන් ද රහස් රැසක් හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉන්සයිට් යානය පෘථිවියෙන් පිටත්ව අඟහරු බලා ගියේ පසුගිය මැයි මාසයේදීය. ඉන්සයිට් රැගත් ඇට්ලස් රොකට්ටුව ගුවන්ගත කිරීම සිදුවූයේ කැලිෆෝනියාවේ ගගන කඳවුරෙනි. අඟහරු මතුපිට කැණීම් සිදු කරන ඉන්සයිට් යානයේ බර කිලෝ ග්‍රෑම් 360කි. එහි දිග මීටර් 6 ක් වන අතර පළල මීටර් 1.5ක් යැයි නාසා ආයතනය පවසයි.
මෙම සම්පූර්ණ වැඩසටහනේ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 993ක් බව වාර්තා වේ.

0 Comments