ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය ‘සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ අවසන් දිනය වන අද (28) සියලුම වයස් කාණ්ඩවල අවසන් මහා තරග පැවැත්වීමට නියමිතය. අවසන් දිනය වන අද ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානය සිදු කිරීමට නියමිතය.පෙරේදා ආරම්භ වු මේ තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 278ක් එක්වී සිටි අතර ඉන්දියාවෙන් පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 90ක් තරග වැදීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොහාන් ද සිල්වා ඉන්දුනීසියාවේ ෆ්‍රිස්ට් මේනකි සමග එක්ව අවුරුදු 60න් ඉහළ පිරිමි යුගල තරග අංශයේ මූලික වටවලදි දස්කම් දැක්විය.මෙරට හිටපු විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන චන්ද්‍රිකා ද සිල්වා, දුමින්ද ජයකොඩි, නිරෝෂන් විජේකෝන්, ශ්‍රියානී දීපිකා, තනුජ ලියනගේ, හේමන්ත කොඩිතුවක්කු, ක්ලැරන්ස් හෝමර්, සම්පත් ප්‍රනාන්දු, නිහාල් අමරසේන, රොහාන් ප්‍රනාන්දු සහ කමල් ගම්ලත් කැපී පෙනෙන දස්කම් දැක්වූහ. මේ තරගාවලියේ වයස්ගතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුගලය ලෙස වෛද්‍ය ප්‍රමිලා සේනානායක සහ ඉන්දියාවේ සහානි සිං ක්‍රීඩා කිරීම කාගෙත් අවධානයට ලක්විය.
ඊයේ පස්වරු වනවිට නිමාවට පත්වූ තරගවලදී ඉන්දියාවේ කාර්ති පනිර්සෙල්වම් ලකුණු 15-10ක් සහ 15-7කින් පරාජය කළ ඉන්දියාවේහිම අනීෆා අනීස් සහ ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සුල්තාන් ලකුණු 15-6ක් සහ 15-6ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකාවේ මංජුල ප්‍රනාන්දු අවුරුදු 40න් ඉහළ පිරිමි ඒකල අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත්වූහ. අවුරුදු 35න් ඉහළ මිශ්‍ර යුගල අවසන් පූර්ව තරගවලදී මොහොමඩ් සහ චන්ද්‍රිකා ද සිල්වා ලකුණු 15-3ක් සහ 15-3ක් ලෙස ශ්‍රී ලංකාවේ සුජිත් ජයසිංහ සහ පූර්ණා සම්මානි ද සිල්වා පරාජය කරමින් එම අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර අවුරුදු 50න් ඉහළ පිරිමි ඒකල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නිරෝෂන් විජේකෝන් සහ ඉන්දියාවේ මරාන් තංගවේලු සමත්වූහ. අවුරුදු 55න් ඉහළ පිරිමි ඒකල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ ජයත් පෙරේරා පරාජය කළ ජනත් රොෂාන් සහ රොහාන් ප්‍රනාන්දු පරාජය කළ නේපාලයේ ක්‍රීඩක බිෂ්නු ලාල් ශ්‍රෙස්තාය.
මේ තරගාවලියට අවුරුදු 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ 70න් ඉහළ පිරිමි හා කාන්තා ඒකල හා යුගල තරගත්, මිශ්‍ර තරගත් ඇතුළත්ය.
සෑම කාණ්ඩයමක ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කෙරෙන අතර සෑම වයස් කාණ්ඩයකම ශූරයාට සහ අනුශූරයාට අමෙරිකානු ඩොලර් 7500ක මුදලක් තෑගි වශයෙන් බෙදා දීමට කටයුතු යොදා තිබේ.

0 Comments