එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය දින නියමයක නොමැතිව කල් දමා ප්‍රධානතම පාපන්දු තරගාවලියවන චැම්පියන් ලීග් පාපන්දු මේ සති අන්තයේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත.
එක් තරගාවලියක් අවසන්වීමට පෙර තවත් තරගාවලියක් ආරම්භවීමට ඇත්තේ තවත් දින 3ක් පමණි. එහි පළමු තරගය යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී මේ 22 වැනිදා පැවැත්වෙනු ඇත.
චැම්පියන් ලීග් පාපන්දු සම්ප්‍රදාය අනුව මුල්ම තරගය පැවැත්විය යුත්තේ පසුගිය ශූරයන් හා අනු ශූරයන් අතර වුවද යාපනයේ පැවැත්වෙන තරගයේදී එම සම්ප්‍රදාය වෙනස්වන තත්ත්වයක් නිර්මාණයවී ඇත. මූල්‍ය ප්‍රශ්න ඉදිරියට දමා පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයක්ම යාපනයේ තරගයට යෑමට අකමැත්ත ප්‍රකාශ කිරීම එයට හේතුවී ඇති ප්‍රධානතම කරුණකි. කොළඹ පාපන්දු සමාජය, රත්නම් ක්‍රීඩා සමාජය වාචිකව අකමැත්ත ප්‍රකාශකර තිබියදී, රිනවුන් ක්‍රීඩා සමාජය ලිඛිතවම දැනුම්දී ඇත්තේ යාපනයේ තරගයට යෑමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් එක්වීමේ සූදානමකින් පසුවන බවය.
එහෙත් වෙන්නප්පුව නිව් යංග්ස් හා බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජ යාපනයේ තරගයට යෑමට කැමැත්ත පළකිරීම ප්‍රසංශනීය වේ. වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජයේ රෝහිත ප්‍රනාන්දු මහතා හා බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජයේ මොහොමඩ් රිස්වාන් යන මහත්වරු යාපනය තරගයට එක්වීමේ කැමැත්ත පළ කිරීමෙන් චැම්පියන් ලීග් තරගාවලිය කරදරයකින් තොරව ආරම්භ කිරීමේ අවස්ථාව උදාවේ. යාපනය ප්‍රදේශයේ පාපන්දු තරග උණුසුම වේගයෙන් නිර්මාණය වෙමින් පවතින හෙයින් චැම්පියන් ලීග් තරගාවලිය එලෙස ආරම්භ කිරීම එම ජනතාවට පාපන්දු සම්මේලනය දක්වන ගෞරවයක් සේ සැලකිය හැක.
චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට එක්ව සිටින පාපන්දු කණ්ඩායම් 10ක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඉල්ලීම් 6ක් සහිත ලිපියක් භාරදීමෙන් අනතුරුව පාපන්දු සභාපති අනුර ද සිල්වා හා ලේකම් යූ. එල්. ජස්වර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාපන්දු ක්‍රීඩා සමාජ අතර හමුවක් මෙයට සති කිහිපයකට පෙර පැවැත්වුණි.
සෝන්ඩර්ස්, සුපර් සන්, රත්නම්, රෙඩ් ස්ටාර්, සොලිඩ්, මාතර සිටි, ක්‍රිස්ටල් පැලස්, පෙළිකන්ස්, නිගම්බු යූත් හා රිනවුන් යන ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ නියෝජිතයෝ ඉල්ලීම් සහිත ලිපියට අස්සන් තබා තිබූ අතර ඔවුන්ගේ ඉල්ලීම් වූයේ චැම්පියන් ලීග් ක්‍රීඩා සමාජයකට රුපියල් ලක්ෂ 10ක්, පාපන්දු 20ක් හා ජර්සි කට්ටල 2ක් තරගාවලිය වෙනුවෙන් ලබාදෙන ලෙසය.
පාපන්දු සම්මේලනය යුද හමුදා ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නය විසදා ක්‍රීඩකයන් තිදෙනකු චැම්පියන් ලීග් ක්‍රීඩා සමාජයකට ඇතුළත් කර ගැනීමේ අවස්ථා උදාකරදීම ක්‍රීඩා සමාජවලට යම් සැනසිල්ලක් විය.
ක්‍රීඩා සමාජයකට රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාදීමට හා නව පාපන්දු තොගය විදෙස් රටකින් ඇනවුම් කොට ඉදිරි කාලයේදී ලබාදීමට පොරොන්දුවක් ද ලැබී තිබිණි. චැම්පියන් ලීග් ක්‍රීඩා සමාජවලට පොරොන්දුවූ පරිදි මුදල් තවම නොලැබුණද, නව පාපන්දු 10ක් ලබාදෙන බව දුරකතනය ඔස්සේ දැනුම්දී ඇති බව පාපන්දු ක්‍රීඩා සමාජවල ප්‍රධානීහු පවසති.
පාපන්දු 10 ප්‍රමාණවත් නොවන බව පාපන්දු ක්‍රීඩා සමාජවල මතයවී ඇති අතර පාපන්දු සම්මේලනය තුළ අඩු මුදලට පාපන්දු ලබා ගැනීමේ අවස්ථාවක් හෝ නොමැතිවීම ගැටලුවක්වී ඇත. මෙයට පෙර සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජයකට අඩු මුදලට පාපන්දු ලබා ගැනීමේ අවස්ථා තිබුණද වර්තමානයේ එම අවස්ථා අහිමිවීම පිළිබඳ පාපන්දු ක්‍රීඩා සමාජ තුළ ඇත්තේ නොසතුටකි.
චැම්පියන් ලීග් තරගාවලිය ආරම්භ කිරීමට සියල්ල සූදානම් වුවද ක්‍රීඩා සමාජවලට පාපන්දු ක්‍රීඩක හැඳුනුම්පත් තවමත් ලැබී නොමැති හෙයින් තරගවලට සහභාගීවීමේදී අනන්‍යතාව හෙළි කරගැනීම ගැටලු සහගත බව පැවසේ. තරග කාල සටහන අයත් පොත් පිංචක් සෑම චැම්පියන් ලීග් තරගාවලියකදීම මුද්‍රණය කොට ලබාදෙන අතර එයද මේවන තුරු සකසා නොමැත.
එම පොත් පිංචේ චැම්පියන් ලීග් ක්‍රීඩා සමාජ විස්තර, ලේකම් සභාපතිගේ නම් දුරකතන අංක, ආරම්භයේ සිට අවසානය දක්වා තරග කාල සටහන ඇතුළත්වන හෙයින් ක්‍රීඩා සමාජවලට පමණක් නොව තරගාවලිය ආවරණය කරන මාධ්‍යවේදීන්ට ද තොරතුරු ලබා ගැනීමේදී ඉතා පහසු තත්ත්වයක් නිර්මාණයවී තිබිණි. ලොව සෑම මුල් පෙළේ පාපන්දු තරගාවලියක් සංවිධානයේදී පළමු තරගයේ සිට අවසන් තරගය දක්වාම තරග කාල සටහන ප්‍රසිද්ධියට පත් කිරීම සිදුවන බැවින් චැම්පියන් ලීග් තරගාවලියේදී එම තොරතුරු පාපන්දු ක්‍රීඩා සමාජ හා මාධ්‍ය අපේක්ෂා කිරීම සාමාන්‍ය දෙයකි. මෙයට පෙර පාපන්දු තරග කමිටු අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ එම්. ටී. පෙරේරා, ඇන්තනී පිල්ලේ යන මහත්වරු කලට වේලාවට මෙවැනි අවශ්‍යතා සම්පූර්ණ කිරීම ගත හැකි හොඳම ආදර්ශයකි.
චැම්පියන් ලීග් තරගාවලිය ආරම්භයේදීම වැසි කාලය උදාවී ඇත. එයද ක්‍රීඩා සමාජවලට ගැටලුවක්ව පවතී. චැම්පියන් ලීග් තරග පැවැත්වෙන සිටිලීග් පිටිය, කළුතර වර්නන් ප්‍රනාන්දු පිටිය, මාතර ක්‍රීඩාංගණය, කැලණිය පාපන්දු සංකීර්ණ පිටිය, වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් පිටිය, නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය ඇතුළු බොහෝ ක්‍රීඩාංගණ වැස්සකදී ක්‍රීඩා කිරීමට අපහසු බව පාපන්දු ක්‍රීඩා සමාජ අත්දැකීමෙන්ම දනිති. එහෙයින් මේ කාලයේදී චැම්පියන් ලීග් පාපන්දු තරග පැවැත්වීමෙන් තරගාවලියට සිදුවන බලපෑම ගැන ප්‍රශ්න කරමින් සිටී.
පාපන්දු ක්‍රීඩා සමාජයක් එක් තරගවාරයකදී ක්‍රීඩා කිරීම වෙනුවෙන් ලක්ෂ ගණන් මුදල් වෙන් කළ යුතුවේ. දැන් බෝහෝ ක්‍රීඩා සමාජ විදෙස් ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් හෝ එක්කර ගැනීමට කටයුතු කරන හෙයින් වියදම සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. විදෙස් ක්‍රීඩකයන්ට ඉහළ වැටුප් හා ඉඳුම් හිටුම්, ආහාරපාන හා අනෙකුත් වියදම් ද දේශීය ක්‍රීඩකයන්ට වැටුප් හා දීමනා ගෙවීමද විශාල පිරිවැයක්වී ඇත. පාපන්දු ක්‍රීඩා සමාජ නඩත්තු කරන අයට මෙහි වේදනාවක් ඇති බවත්, ක්‍රීඩා සමාජයක් නැති, එවැනි වියදමක් නොදරන නිලධාරීන්ට මේ පිළිබද වැටහීමක් හා හැගීමක් නොමැති බවත් පාපන්දු ක්‍රීඩා සමාජ ප්‍රධානීහු චෝදනා කරති. පාපන්දු ක්‍රීඩා සමාජවල අවශ්‍යතා සොයා බලා රැක ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වගකීමද ඔවහු පෙන්වා දෙති.
අද ජාතික පුහුණුකරු රුමී පකීර් අලී එදා ක්‍රීඩා කළ යෝක් ක්‍රීඩා සමාජය, වනාතමුල්ල යූත්, කොම්පඤ්ඤවීදියේ වික්ටරි, සනි මවුන්ට්, හයිලන්ඩ්, මීගමුව ජුපිටර්ස්, පෙටා යුනයිටඩ්, කුරුණෑගල මහජන, රෙඩ් ඩයමන්, බ්ලැක්ස්වෙයාර් හා කොළඹින් බැහැර පාපන්දු ශූරයන් වූ මධ්‍යම ලංකා වැනි ක්‍රීඩා සමාජවලට දැන් අත්ව ඇති ඉරණමද සිහිපත් කරගත යුතුව තිබේ. මේ ප්‍රබල ක්‍රීඩා සමාජ අදවන විට නැත්තටම නැතිවී හෝ කඩා වැටීමට ලක්වීම පිළිබඳ වගකීම ගන්නේ කවුරුන්ද? දැනට ඉතිරිව ඇති ක්‍රීඩා සමාජ ආර්ථික අපහසුතා හා වෙනත් පරිපාලන ගැටලු ඇතිනොවන සේ රැක බලා ගන්නේ කවුරුන්ද? යන ප්‍රශ්න මතුවෙමින් පවතී.
චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේදී වසරේ සුපිරි ක්‍රීඩා තරු හඳුනා ගැනීමට ඉතා පහසුය. එබැවින් මෙය සුපිරි මට්ටමින් සංවිධාන වියයුතු තරගාවලියක් ලෙස බලාපොරොත්තුවීම වරදක් නොවේ. චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භයේදී පැවැත්වෙන මාධ්‍ය හමුව අතීතයේ තරු පහේ හෝටල්වල සංවිධාන වූයේ ඒ නිසා විය හැක. එහෙත් මෙවර ප්‍රධානතම පාපන්දු තරගාවලියේ නිරාවරණය පාපන්දු නිවහනේදී අද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මාධ්‍ය හමුව එලෙස සංවිධාන කෙරුණද, මෙවර තරගාවලිය දියාරු එකක් නොවීමට පාපන්දු සම්මේලනය වගබලා ගත යුතුව ඇතැයි පාපන්දු ක්‍රීඩා සමාජ ප්‍රධානීහු අවධාරණය කර සිටිති.
සටහන- ප්‍රින්ස් ගුණසේකර

0 Comments