Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිසිදු අත්‍යාවශ්‍ය සහ ගුණාත්මක ඖෂධ වෙළඳපොලෙන් ඉවත් වී නෑ – සුව ඇමැති පවසයි.

 Press_Medicine
කිසිදු අත්‍යාවශ්‍ය සහ ගුණාත්මක ඖෂධ වෙළෙදපොලෙන් ඉවත් වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  ප්‍රකාශ කරයි. සති අන්ත ඉංග්‍රීසි පුවත්පත්වල සහ දිනපතා පුවත්පත්වල අත්‍යාවශ්‍ය ඖෂධ වෙළෙදපොලෙන් ඉවත් වන බවට පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
අත්‍යාවශ්‍ය සහ ගුණාත්මක ඖෂධ වෙළෙදපොලෙන් ඉවත් වන්නේ නැහැ. වෙළෙද පොලේ අලෙවියක් නොමැති නිසා තමයි ඇතැම් ඖෂධ ඉවත් වන්නේ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල අඩු කිරිම නිසා ඖෂධ පරිහරණය සියයට 600 කින් වැඩි වී තිබෙනවා. ඇතැම් ලේඛිකාවන් බොරු ප්‍රවෘත්ති මවමින් රෝගී ජනතාව බියට පත් කරනවා. අලෙවියක් නොමැති නිසා ඖෂධ වෙළෙදපොලෙන් ඉවත් වූ ඖෂධ අලෙවි කරන සමාගම්වල වුවමනාවට ලිපි ලියනවා. මුදල් ලබාගෙන තමයි මෙවැනි ලිපි ලියන්නේ. අමූලික බොරුවක්. ඖෂධ මිල අඩු කිරීම නිසා ජනතාවට ප්‍රතිලාභයක් ලැබුනා. මිනිසුන් සූරා කන ඖෂධ මාෆියාවේ කොල්ලය තමයි මම නැති කරන්න උත්සාහ කරන්නේ. ඊට මාධ්‍ය උදව් කළ යුතුයි. දුම්කොළ සමාගම් වලට එරෙහිව බදු පනවන විටත් පැණිබීම සමාගම්වලට  වර්ණ සංකේත ක්‍රමය හදුන්වා දෙන විටත් ඇතැම් ඉංග්‍රීසි පුවත්පත් ජනතාව දෙස නොව සමාගම් දෙස බලා පුවත් පළ කළා. මාධ්‍ය වේදීන් හැමදේම දන්නේ නැහැ. නමුත් සියල්ලම දන්නවා වගේ ලියන පහත් තත්ත්වයට පත්වෙලා. මෙමගින් රටක් නොමග යවනවා. මේවා පිටුපස තිබෙන්නේ මුදල්. ආයුධ වෙළෙදාමට වඩා ඖෂධ වෙළෙදාම හරිම භයංකාරයි. ප්‍රධාන සමාගම් දෙකකට තමයි මෙම ප්‍රශ්ණය තිබෙන්නේ. මම රෝහල් ගාස්තු නියාමනය කරන්න සුදානම් වන විටත් එය කඩාකප්පල් කරන්න එම සමාගම් උත්සාහ කළේ ඔවුන්ට පෞද්ගලික රෝහලක් තිබෙන නිසයි. ඖෂධ මාෆියාවට මාධ්‍ය උදවු කරනවා ද, ජනතාව වෙනුවෙන් මාධ්‍ය කටයුතු කරනවා ද කියා ප්‍රශ්ණයක් මතුව තිබෙනවා.” යැයි පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා දැක්වූ අදහස්,
අත්‍යාවශ්‍ය ඖෂධ දේශීය වෙළෙදපොලෙන් ඉවත් වන බවට පුවත්පත්වල පළ වූ වාර්තා අසත්‍යයයි. පුවත්පත් වාර්තා පළ කිරීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ කර ගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීම බොරුවක්. අපේ නිලධාරීන් සම්බන්ධ කර ගන්න පුළුවන්. දේශීය ඖෂධ වෙළෙදපොල ඩොලර් මිලියන 850 ක් පමණ වෙනවා. ජනතාවගේ සෞඛ්‍ය වියදමේ තිබෙන බර අඩු කර ගැනීම සදහා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරිදේශ මත ඖෂධ මිල අඩු කරමින් එහි වාසිය රෝගියාට ලබාදුන්නේ. ගුණාත්මක ඖෂධ රෝගීන්ට ලබාදිය  යුතුයි. මෙවැනි ලිපි පළ කිරිම මගින් රෝගීන් නොමග යැවෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල නියාමනය කිරීම තුලින් ජනතාවට රුපියල් බිලියන 4.4 ක ආර්ථික වාසියක් ලැබී තිබෙනවා. එය රෝගීන් ලැබූ ජයග්‍රහණයක්. මෙම ඖෂධ වෙළෙදපොලෙන් ඉවත්වන බව එම සමාගම් ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී නැහැ. කිසිදු අත්‍යාවශ්‍ය ඖෂධ නැතිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. සමාගම් අධික ලාභ ලබනවා. ඉන්සියුලින් වර්ග ද වෙළෙදෙපොලෙන් ඉවත් වන බවට ද මාධ්‍ය මගින් පළ වී තිබුනා. ඉන්සියුලින් වර්ග 06 ක් තිබෙනවා. කිසිවක් ඉවත් වන්නේ නැහැ. වෙළෙදෙපොලේ ඇති තරම් ඉන්සියුලීන් තිබෙනවා. තත්ත්වයෙන් බාල ඖෂධ තිබෙනවා නම් වෛද්‍යවරුන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දෙන්න පුළුවන්. අද වෙනකල් කිසිදු පැමිණිල්ලක් ලැබී නැහැ. සැප්තැම්බර් මස 01 සිට ග්ලුකොමීටර් මිල නියාමණය කළා. එය අලෙවි වුයේ රුපියල් 5350 කටයි. එය රුපියල් 2550 දක්වා මිල අඩු කළා. එහෙම මිල අඩු කළත් ෆාමසි වල ග්ලුකොමීටර් 5 ක් අලෙවි කළොත් රුපියල් 2500 ක චෙක්පතක් සමාගම් විසින් ලබාදෙනවා. ජනතාවට බර පැටවීමට අපි සුදානම් නැහැ.” යැයි පැවසීය.

The post කිසිදු අත්‍යාවශ්‍ය සහ ගුණාත්මක ඖෂධ වෙළඳපොලෙන් ඉවත් වී නෑ – සුව ඇමැති පවසයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();