හලාවත අඹකඳවිල සිට ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් වෙත ගිය පාරමී වසන්තී මාරිස්ටෙලා යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ඉතිහාසගත පළමු පදක්කම සටහන් කළාය.
කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහගෙන් පසු ඔලිම්පික් නාමය ඉදිරියේ ලියැවුණු ශ්‍රී ලංකා පදක්කම මෙය වන අතර මේ යොවුන් ක්‍රීඩිකාව නිසි ලෙස නඩත්තු කරන්නේ නම් අනාගතයේදී ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම අපහසු නොවන බව මෙරට ක්‍රීඩා බලධාරීන් අවධාරණය කරගත යුතුව ඇත.
බුවනොස් අයර්ස් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ මූලික වටයේ තරගයේදී විනාඩි 6:33.06 කාලයක් වාර්තා කොට තෙවැනි ස්ථානයට ශ්‍රේණිගත වූ ඇය දෙවැනි අදියරේ කිලෝමීටර 4ක රට හරහා දිවීමේ තරගය විනාඩි 13.47 කින් නිමකොට සිවුවැනි ස්ථානයට ශ්‍රේණිගත විය. අදියර දෙකේ එකතුව ලකුණු 7ක්වූ හෙයින් ඇය ලෝකඩ පදක්කම දිනා ගත්තාය. පාරමී තරග දෙක වෙනුවෙන් ගතකළ කාලයේ එකතුව ගණනය කිරීමෙන් එම ශ්‍රේණිගත කිරීම් හා පදක්කම් පිරිනැමීම සිදු කෙරුණි.
මූලික වටයේදී අංක එකට හා දෙවැනි අදියරේදී අංක එකට ශ්‍රේණිගතවී ලකුණු එකතුව දෙකක් කරගත් කෙන්යාවේ ෆැන්සි චෙරෝනෝ රන් පදක්කම හා මූලික වටයේදී අංක දෙකට හා දෙවැනි අදියරේදී අංක තුනට ශ්‍රේණිගතවී ලකුණු එකතුව පහක් කරගත් ඉතියෝපියාවේ මොකිසෙස් අබේබේ රිදී පදක්කම දිනා ගත්හ. පාරමීට පසු පසින් උගන්ඩාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ෆින්ලන්තය, ස්පාඤ්ඤය, හන්ගේරියාව වැනි රටවලින් ක්‍රීඩිකාවෝ රොත්තක් සිටියහ.
“පාරමී දුව ආර්ජෙන්ටිනා යන්න එයාර් පෝර්ට් එකට ගියේ හවස මහා තද වැස්සේ” මව රීටා මාග්‍රට් මහත්මිය පැවැසූවාය. එය දින කිහිපයකින් මල් වැස්සක් බවට පරිවර්තනය වන බව පාරමීගේ මව හොඳින්ම දැන සිටි බව අප සමග කළ කතා බහේදී හොඳින්ම වැටහුණි.
“දුව පදක්කමක් දිනන බව කලින් ඉදන්ම විශ්වාසයක් තිබුණා. එයා ඒ තරමටම මහන්සි වුණා. ඇත්තටම සතුටුයි. අම්මා තාත්තා විදිහට හොඳ දුවක් හැදීම ගැන අපට තියෙන්නේ අසීමිත ආඩම්බරයක් වගේම ආදරයක්”
“පාරමීගේ තාත්තා තෙප්පමේ ගිහින් මාලු අල්ලන මුහුදු රස්සාව කරන්නේ. මාලු අහුවුණේ නැත්නම් එදාට සල්ලි නෑ. කීය හරි හොයා ගෙන කළේම දරුවන්ට හොඳට කන්න බොන්න දීලා උස් මහත් කරන එක. ගොඩාක් ණය වෙලා තියෙනවා. අපේ පර්චස් 45ක ඉඩම බැංකුවට උගස් තියලා සල්ලි අරන් මේ අයගේ වැඩ කරලා දුන්නා. අනිත් අයට වගේ නොවෙයි දුවලා දෙන්නාම ක්‍රීඩා කළ නිසා වියදම් සැරයි. කිරි පිටි හොඳම ඒවා දෙන්න ඕනේ. කොළඹ යන්න එන්නත් වියදම් වැඩියි. අපි ඉන්නේ මුහුදු අයිනේ ගෙදරක. ගෙදර වහලයත් දිරලා ගිහින්. පොඩි වැස්සකටත් ගේ වටේම වතුරෙන් යට වෙනවා. අනේ අපි ලොකු දේවල් බලාපොරොත්තු නෑ. පාරමී ගෙදර ආවාම පිළිවෙළක් ඇතිව ඉන්න සුදුසු පරිසරයක් විතරයි හදා ගන්න ඕනේ. ගෑණු දරුවෝ නේ” පාරමීගේ මව සංවේදී ලෙස පැවැසූවාය.
මේ ධෛර්යවන්ත දියණිය බාධක මැදින් ඉතා කටුක දුෂ්කර මාර්ගයක ගමන් කරමින් සිටින බව පැහැදිලිය. ඒ නිසාම බාධක දිවීම ඇයට දැන් අභියෝගයක් නොවන තරම්ය. පාරමීගේ අක්කා නිශාන්තී දිල්හානී මීටර් 800 හා 1500 ඉසව්වලින් ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූවාය. ඇය දැන් සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරණ උපාධිය හදාරමින් සිටින්නීය. පාරමීගේ සොහොයුරා විවාහවී වෙනම ජීවත් වේ.
“අක්කයි මමයි ඉස්කෝලේ ඇරිලා ආවාම මුහුදු වෙරළේ තරගෙට දුවනවා. වැටි වැටී දුවන කොට බාධක දුවනවා වගේ තමයි. අක්කා සමස්ත ලංකා ක්‍රීඩා තරග වගේම රටවල් කිහිපයක ක්‍රීඩා තරගවලට ගිහින් ජයගෙන තිබෙනවා. තාත්තා මුහුදු ගිහිල්ලා හම්බ කරපු දෙයින් මටයි අක්කටයි හැමදේටම වියදම් කළා. මේ ජයග්‍රහණය මා අපේක්ෂා කළ එකක්. තවත් පියවර ගණනාවක් ඉදිරියට යන එක මගේ එකම අධිෂ්ඨානයයි. ඔලිම්පික් පදක්කමක් දිනන්න මට පුලුවන්” එඩිතර සිතක් ඇති පාරමී දියණිය පැවැසූවාය.
“මේ සිහිනය දකින්න ජනිත් සර් වගේම මමත් ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියා. ගොඩාක් බාධක මැදින් ඇවිත් තමයි බාධක දිවීම ලෝකඩ පදක්කම දිනා ගත්තේ. පළමු අදියරේදී මට තේරුණා මෙඩ්ල් එකකට යන්න පුලුවන් කියලා. ඒ නිසා දෙවැනි අදියරේදී ඒ විශ්වාසය ඇතිව තරගයට ආවේ” ජයග්‍රාහී දිරිය දියණිය පාරමී වසන්තී පැවැසුවාය.
පුහුණුකරු ජනිත් ජයසිංහ මහතා පවසන්නේ පාරමී වසන්තීගේ මේ ජයග්‍රහණය විශාල කැපකිරීමක ප්‍රතිඵලයක් බවය. “මේක හැමෝටම හොඳ ආදර්ශයක්. පුංචිම තැනකින් ආපු කෙල්ලක් අද ඔලිම්පික් පදක්කම් දිනූ ශ්‍රී ලංකා නාමයට එක්වුණා. ඇයගේ දක්ෂතා හදුනාගත් වහාම ක්‍රමයෙන් ඉදිරියට ගත්තා. ඇය ආසියානු මට්ටමේ වගේම ඉන් එහාටත් අති දක්ෂ ක්‍රීඩිකාවක් බව ඔප්පු කළා. මේ ගමන එන්න ගොඩාක් පිරිසක් උදව් කළා. අප කළ සියලු සැලසුම් සාර්ථකවීම ගැන සතුටුයි. අපට ඔලිම්පික් පදක්කමක් දිනන්න පුලුවන් බව ඔප්පු කළා” ජයසිංහ මහතා පැවැසීය.
ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මේ දිරිය දියණියගේ අනාගත ක්‍රීඩා කටයුතුවල වගකීම භාර ගන්නා බව පැවැසීම විශාල අස්වැසිල්ලක් වනු ඇත. “ක්‍රීඩා අමාත්‍යාංශය හා පාසල් මලල ක්‍රීඩා සංගමය සමග එක්ව පාරමීගේ අනාගත ක්‍රීඩා සැලසුම විධිමත් ලෙස සකස් කරනවා. මා ඇයගේ ධාවන විලාශය දැක්කා. එදා සෙන්ටිග්‍රේඩ් අංශක 10ක් විතර උෂ්ණත්වයක් තිබුණේ. යාන්තම් වැස්සකුත් තිබුණා. එහෙම සීතල වෙලාවක ධාවන තරගයකට අවතීර්ණවීම ඉතාම අමාරුයි. හිතා ගන්නවත් බෑ මේ පුංචි දියණියගේ දක්ෂතාව. අපි මේ අයට කරන්නේ නැති උදව් උපකාර වෙන කාට කරන්නද ?” ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා සිය යුතුකම හා වගකීම පැහැදිලි කළේය.
ඇය මේ ක්‍රීඩා උළෙලට පිටත්වීමට පෙර පදක්කමක් දිනා ගන්නා බව අවධාරණය කළ අයුරු හා 2020දී හෝ 2024දී ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නා බවට දැන් සිටම අධිෂ්ඨානයෙන් පසුවන බව මැක්ස්වෙල්ද සිල්වා මහතා සිහිපත් කළේය.
අඹකඳවල සාන්ත රෝගුස් විදුහලේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ක්‍රීඩා ශිෂ්‍යත්වයකින් කුලියාපිටිය මධ්‍ය මහා විදුහලට ඇතුළත්වූ පාරමී දියණිය විදුහලේ නේවාසිකාගාරයේ නැවැතී සිටින හෙයින් නිවසට එන්නේ ඉද හිටය. නිවසේ සිටිනා ඉතා කෙටි කාලයකදී වුවද ඇය මුහුදු වෙරළේ දිවගොස් පුහුණුවීම්වල නිරත වේ. තෙප්පමෙන් මුහුදු ගොස් මසුන් අල්ලන පියා හරි හම්බ කළ දෙයින් හැදුණ වැඩුණ දියණිය තාත්තාගේ හා අම්මාගේ දහඩිය මහන්සියට අපූරු අරුතක් එක් කිරීම ප්‍රසංශනීය වේ.
සටහන ප්‍රින්ස් ගුණසේකර

0 Comments