මාලිංග කඩුලු 5යි
ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාමාලාවට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ගොඩනගා ගත් වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෙරේදා දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5ක් දවාලමින් පෙරළිකාර දස්කම් දැක්වීමට සමත්විය. එසේ වුවත් වසර හතරකට පසුව ජාත්‍යන්තර එක්දින තරග බිමේ කඩුලු 5ක් දවාලූ ලසිත් මාලිංගගේ පෙරළිකාර දස්කම් අපතේ යවමින් සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 31කින් පරාජයට පත්විය.
සිය කඩුලු දඩයම අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට්, එක්දින හා විස්සයි20 මුහුණුවර 3 යටතේ කඩුලු 500 සම්පූර්ණ කිරීමට ද මාලිංග සමත්විය. සිය ඕවර 10 නිමාවෙද්දී මාලිංග කඩුලු 5ක සම්පුර්ණ කළේ ලකුණු 44ක් පමණක් ලබාදෙමිනි. එය ඔහු සිය එක්දින තරග දිවියේ කඩුලු 5ක් සම්පූර්ණ කළ 5 වැනි අවස්ථාව වූ අතර එංගලන්ත පිලට එරෙහිව දැක්වූ හොඳම දක්ෂතාව ද විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකාව මාලිංග ඇතුළු පන්දු යවන්නන්ගේ පිහිටෙන් එංගලන්ත පිල නියමිත ඕවර 50 අවසානයේ ලකුණු 278කට සීමා කිරීමට සමත්වූවත් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් නැවත දැඩි පසුබෑමකට ලක්වීමෙන් පිටියට වර්ෂාව පතිත වනවිට ඕවර 29කදී ලකුණු 140කට කඩුලු 5ක්ම බිඳ වැටී තිබිණි. ඒ වනවිට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයෙන් ජයගැනීමට නම් ශ්‍රී ලංකා පිල රැස් කළ යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව වූයේ 171කි.
‘ලබන වසරේ එක්දින ලෝක කුසලාන තරගමාලාවට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙනවා නම් මා ඊට ක්‍රීඩා කරනවා. එය මගේ අවසන් ලෝක කුසලාන තරගමාලාව වේවි. නමුත් පසුගිය කාලයේදී මට ලැබුණු දේවල් අනුව එවැනි අවස්ථාවක් ලැබේවි කියන එක සැක සහිතයි. කොහොමවුණත් අවස්ථාවක් ලැබෙනවා නම් මා ලෝක කුසලාන තරගමාලාවට ක්‍රීඩා කරනවා.‘ තරගයෙන් පසුව මාලිංග කියා සිටියේය.
‘මම නිතරම උපරිම අයුරින් ක්‍රීඩා කරනවා. රට වෙනුවෙන් මට තව කොපමණ කාලයක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබේවිදැයි දන්නේ නෑ. නමුත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් මා ආඩම්බර වෙනවා.‘ ඔහු කීවේය.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල ඉහළට ඔසවා තැබූ නායක ඉයන් මෝගන් පන්දු 91කදී ලකුණු 92ක් රැස් කිරිමට සමත්වූ අතර ජෝ රූට් පන්දු 83කදී ලකුණු 71ක් වාර්තා කළේ ලකුණු 48ක් ලබා සිටියදී දුන් උඩ පන්දුව මිඩ් විකට් කලාපයේ සිටි ධනංජය ද සිල්වා අතහැරීමෙන් පසුවය.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයේදී දැඩි පීඩනයකට පිතිකරුවන් හසු කළ ක්‍රිස් වෝක්ස් සිය මුල් ඕවර 5 ඇතුළත කඩුලු 3ක් දවාලීමට සමත්වූ අතර ශ්‍රී ලංකා පිලේ කඩුලු 4ක්ම ලකුණු 31ක් ඇතුළත බිඳ වැටුණේ පළමු ඕවර 10 නිමාවීමටත් පෙරය.
එංගලන්ත පිලේ නායක මෝගන් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0කින් පෙරමුණ ගැනීමට එංගලන්ත පිල සමත්විය.දෙපිල අතර තුන්වැනි එක්දින තරගය ලබන 17 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

0 Comments