පදක්කම් 15ක් දිනා ශ්‍රී ලංකාව රටවල් 43කින් 14වැනි තැනට
තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල ජාකර්තා ගෙලෝරා බන්ග් කරානෝ ක්‍රීඩා සංකීර්ණයේදී පෙරේදා (13) අති සාර්ථකව නිමාවට පත්වෙයි. ආසියානු ප්‍රජාව ස්වභාවික පරිසරය තුල සහජීවනයෙන් හා සමතුලිතව ජීවත්විය යුත්තේ කෙසේද යන්න මෙම ක්‍රීඩා උළෙලේදී නිරූපණය වුණි.
විවිධ හේතුමත අත් - පා අහිමි එහෙත් ජීවිතයට ධෛර්යය එක්කළ උත්සහාවන්ත මිනිසුන්ගේ ආසියා ක්‍රීඩා මංගල්‍යය ලෙස හැදින්වූ මෙම ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉතා අර්ථවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට තිබිණි. මෙතෙක් පැවැති ක්‍රීඩා උළෙල දෙකටම වඩා සාර්ථක පැරා ක්‍රීඩා උළෙල මෙය බව බොහෝ දෙනකුගේ අදහසවී තිබේ.
ආසියානු ජාතීන් අතර සමගිය, එකමුතුව හා දක්ෂයින් ඇගයීම වැනි තේමාවන් සමාප්ති උළෙලේදී විවිධ විශේෂාංග මගින් නිර්මාණය කෙරුණි. ආබාධිත ප්‍රජාවට සමාජය තුල සමාන අවස්ථා සැලසීමේ වැදගත්කම පෙන්වූ මෙම ක්‍රීඩා උළෙලේ සමාප්තිය ඉන්දුනීසියානු උප ජනාධිපති යූසුප් කලා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර පොලිස් හා හමුදා බලකා 9422ක් ක්‍රීඩාංගණයේ හා අවට රදවා තිබිණි. දකුණු කොරියානු AOA ගායිකා කණ්ඩායම විශේෂ ආරාධනාවක් පරිදි සමාප්ති උළෙළ වර්ණවත් කළ අතර හා ඉන්දුනීසියාවේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරු සමාප්ති උළෙලට සංගීතය මුසු කළහ.
මෙවර ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 4ක් සමග පදක්කම් 15ක් දිනා රටවල් 43කින් 14වැනි ස්ථානයට පත්විය. එය වසර 2014දී කොරියාවේ ඉන්චියොන්හී නිමාවට පත්වූ දෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල හා සංසන්දනය කරද්දී ප්‍රගතියකි.
ශ්‍රී ලංකාව 2014 පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 7ක් සමග පදක්කම් 14ක් දිනා පදක්කම් සටහනේ 19වැනි ස්ථානයේ පසුවිය. මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ රන් පදක්කම් ගණන පසුගිය ක්‍රීඩා උළෙලට වඩා වැඩිපුර සටහන්ව තිබීම කැපී පෙනුණි.
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහන අනුව චීනය රන් පදක්කම් 171ක්, රිදී පදක්කම් 88ක් හා ලෝකඩ පදක්කම් 59ක් ගෙන ඉදිරියෙන්ම සිටි අතර කොරියාව රන් පදක්කම් 53ක් රිදී පදක්කම් 45ක් හා ලෝකඩ පදක්කම් 47ක් ගෙන දෙවැනි තැනට පත්විය. ඉරානය රන් 51ක්, රිදී 42ක් හා ලෝකඩ 43ක් ගෙන තෙවැනි තැනට පත්ව ඇති අතර ජපානය රන් 45ක්, රිදී 69ක් හා ලෝකඩ 83ක් ගෙන සිවුවැනි තැනට හා සත්කාරක ඉන්දුනීසියාව රන් 37ක්, රිදී 47ක් හා ලෝකඩ 51ක් ගෙන පස්වැනි තැනට පත්විය. අසල්වැසි ඉන්දියාව රන් පදක්කම් 15ක් රිදී පදක්කම් 24ක් හා ලෝකඩ පදක්කම් 33ක් ගෙන නවවැනි ස්ථානයට පත්ව ඇත.
රටවල් 43කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2831ක් සහභාගීවූ මෙම ක්‍රීඩා උළෙල දින 8ක් පුරා පැවැත්වුණි. ක්‍රීඩා 18ක් යටතේ තරග ඉසව් 568ක් පැවැත්වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මලල ක්‍රීඩා, රෝද පුටු ටෙනිස්, චෙස්, ටේබල් ටෙනිස්, පිහිනුම්, සවි එසැවීම, වෙඩි තැබීම හා දුණු විදීම යන ක්‍රීඩාවලට වලින් ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්ව සිටියහ. ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ පස්වරුවේ මවුබිමට පැමිණියහ.

0 Comments