Ticker

6/recent/ticker-posts

Header Ads Widget

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතා බස්නාහිර පළාතට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ශූරතාව බස්නාහිර පළාතට පිරිනැමූ අයුරු. ඡායාරූප - රංජිත් අසංක

දක්ෂතම ක්‍රීඩකයා මංජුල: ක්‍රීඩිකාව හෂිනි

හතලිස්හතර වැනි වරට පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී පදක්කම් 267ක් ලබාගත් බස්නාහිර පළාත සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. ශූරතාව දිනූ බස්නාහිර පළාත් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කුසලානය පිරිනැමිණි.

බස්නාහිර පළාත් කණ්ඩායම රන් පදක්කම් 101ක්, රිදී පදක්කම් 86 සහ ලෝකඩ පදක්කම් 76ක් ලබාගත් අතර පදක්කම් 140ක් සමගින් සමස්ත අනුශූරතාව මධ්‍යම පළාතට හිමිවිය. රන් 46ක්, රිදී 41ක් සහ ලෝකඩ 53ක් මධ්‍යම පළාත සතුවූ අතර තෙවැනි ස්ථානය හිමිවූ දකුණු පළාතට පදක්කම් 109ක් එක්විය. (රන් 31, රිදී 34 හා ලෝකඩ 44) සබරගමුව, වයඹ, උතුරු මැද, ඌව නැඟෙනහිර සහ උතුරු පළාත් පිළිවෙළින් සිවුවැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා හිමිකර ගත්තේය.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පිට පිට 9 වැනි වරටත් උස පැනීමේ රන් පදක්කම දිනාගත් දකුණු පළාතේ මංජුල කුමාර සම්මාන දිනාගත් අතර කාන්තා තුන් පිම්ම ඉසව්ව ජයගත් වයඹ පළාතේ හෂිනි ප්‍රබෝදා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.

ඩෙංගු රෝගය නිසා පසුගිය මස ඉන්දුනීසියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙල අහිමිවූ දකුණු පළාතේ විනෝජ් සුරංජය මෙවර තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා වූයේ මීටර් මීටර් 100 ඉසව්ව තත්පර 10.73කින් නිම කරමිනි. එහි කාන්තා ඉසව්ව තත්පර 11.94කින් නිම කරමින් සබරගමුව පළාතේ රුමේෂිකා රත්නායක තරගාවලියේ වේගවත් ක්‍රීඩිකාව වූවාය. මේ දෙදෙනා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම්ද දිනාගැනීමට සමත්වූහ.

ඊයේ පැවැති මීටර් 10000 කාන්තා ඉසව්වෙන් පස්වැනි වරටත් රන් පදක්කම දිනා ගැනීමට සබරගමුව නියෝජනය කළ ඒ.එන්.එල්.ආරියදාස සමත්වූ අතර කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන එස්.එම්.අමරසිංහ පසුපසට ඇද දමමින් රන් පදක්කම දිනා ගැනීමට ඌව පළාතේ පී.කේ.ඒ.ඒ.මධුවන්ති සමත් වූවාය. ඇය මීටර් 46.82ක දක්ෂතාවක් දැක්වූ අතර අමරසිංහට තෙවැනි ස්ථානය හිමිවූයේ මී.41.24කිනි.

මීටර් 5000 පිරිමි ඉසව්වෙන් පිට පිට 7වරක් රන් පදක්කම දිනා සිටි මධ්‍යම පළාතේ ලයනල් සමරජීව දෙවැනියා කරමින් රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාතේ ආර්.එම්.එස්.රත්නායක සමත්වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. තුන් පිම්ම කාන්තා ඉසව්වේ ජාතික ශූරිය වන විදූෂා ලක්ෂානි අබිබවා රන් පදක්කම දිනා ගැනීමට වයඹ පළාතේ හෂිනි ප්‍රබෝධා සමත්වූ අතර එම ඉසව්වේ පිරිමි ජාතික වාර්තාව හිමි අයි.ඩී.එස්.එස්.ජයසිංහ තෙවැනි තැනට ඇද දැමීමට දකුණු පළාතේ සෆ්රීන් අහමඩ් සහ ඩී.එම්.ඊ.ඩී.කේ.ප්‍රනාන්දු සමත්වුහ.

ඩබ්.වී.එල්.සුගන්ධි (බස්නාහිර) පිට පිට තෙවැනි වරටත් මී.100 කඩුලු පැනීමේ රන් පදක්කම දිනා ගත්තාය.

මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ අධිපත්‍ය දකුණු පළාතට හිමිවූ අතර එහි පිරිමි රන් පදක්කම ඔවුන් දිනා ගත්තේ වසර 4කට පසුවය. එමෙන්ම කාන්තා කණ්ඩායම එම ඉසව්ව ජය ගත්තේ වසර 12කට පසුව වීමද කැපී පෙනුණි.

මේ අතර ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති බොක්සිං තරගාවලියේදී රන් පදක්කම් 8ක් දිනා ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත්වූ අතර මධ්‍යම පළාතට රන් පදක්කම් 3ක්ද, දකුණ, ඌව, සබරගමුව සහ නැඟෙනහිර පළාත් රන් පදක්කම බැගින්ද දිනා ගත්තේය. නෙට්බෝල් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාත් ක්‍රීඩකයෝ සමත්වූ අතර එහි අවසන් තරගයේදී බස්නාහිර හමුවේ මධ්‍යම පළාත් පිල පරාජයට පත්විය. ඉතිහාසයේ පළමු වරට උතුරු මැද පළාත නෙට්බෝල් ඉසව්වේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පිවිසියේය. එම ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බස්නාහිර පළාතේ හසිතා මෙන්ඩිස් සම්මාන දිනා ගත්තාය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාවට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා, ක්‍රීඩා රාජ්‍ය ඇමැතිනී ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය සමගින් පළාත් ක්‍රීඩා ඇමැතිවරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. ලබන වසරේ තරගාවලියේ සත්කාරකත්වය නැඟෙනහිර පළාතට ලබාදුන් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රීඩා උළෙලේ සමාප්තිය නිවේදනය කිරීමත් සමගින් ක්‍රීඩා උළෙල නිමාවට පත්විය.

නිරෝෂාන් ප්‍රියංකර සහ පොළොන්නරුව දිසා සමූහ එම්.පී.සරත් පොළොන්නරුවේ සිට...

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();