ඉන්දුනීසියාවේ ජාකර්තා හී නිමාව දුටු තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 4ක් සමග පදක්කම් 14ක් දිනා රටවල් 43කින් 14වැනි ස්ථානයට පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍ය අනුග්‍රහ දැක්වීමේ නිසි ක්‍රමවේදයක් සකසන බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සහභාගීවී ජය ලබන ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් ලබාදීමේ ක්‍රමවේදයක් මෙතෙක් නොමැති බැවින් එය ඉක්මණින් සකස් කරන බව ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීමේ උත්සවයේදී ඇමැතිවරයා පැවැසීය.
“ ආසියානු ක්‍රීඩා උළෙලට ගිය පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 20ක් දුන්නා. ඔවුන් ඒ මුදලට උපරිමය ඉටු කොට ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ගෙන දුන්නා. ඇතැම් අවස්ථාවල මිලියන ගණන් මුදල් වැයකළත්, ක්‍රීඩා කණ්ඩායම් පදක්කම් නැතිව හිසි අතින් ශ්‍රි ලංකාවට එනවා. ඒ නිසා පැරා ක්‍රීඩා වෙනුවෙන් ඉදිරියේදී අපේ සම්පූර්ණ සහයෝගය දීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර දෙකකදී ස්ථීර අනුග්‍රහාකයෙකු පැරා ක්‍රීඩා වෙනුවෙන් ලබාදීමට සූදානම්“ ඇමැතිවරයා පැවැසීය.
පදක්කම් දිනා ශ්‍රී ලංකාවට පැමිණි පසු බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් පිලිගැනීමෙන් අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ අපහසුතාව පිලිබඳ කණගාටුවන බව ඇමැතිවරයා පැවැසීය. “ජයග්‍රාහී හා පරාජිත කියා වෙනස් සැලකීමක් කළා නොවෙයි. එය සුලු අතපසුවීමක්. මේ සියලු දෙනාට ඉදිරි දිනෙක ජනාධිපතිතුමා සමග ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීමට අවස්ථාව සලසනවා. පැරා ක්‍රීඩාවට රාජ්‍ය මට්ටමේ පිළිගැනීමක් ලබාදීම අපේ අරමුණයි“ ඇමැතිවරයා පැවැසීය.

0 Comments