Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යතුරුපැදියෙන් ලොවක් දිනූ ස්පාඤ්ඤ කෙල්ල

කාන්තාව තොටිල්ල පැදවූයේ අතීතයේය. දැන් තොටිලිත් නැත. තිබුණත් ඒවා පදවන කාන්තාවන් ද නැති තරම්ය. ලෝකය දියුණු වෙද්දී පිරිමින් මෙන්ම කාන්තාවන් ද හරි හරියට වැඩ කරන්නට පටන් ගෙනය. රටක් පාලනය කරන්නට තරම් හැකියාවක් කාන්තාවට ඇති බවටත් නිදසුන් එමටය. සැබෑව නම් හරි හෝ වැරැදි හෝ කාන්තාව දැන් බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ ඔවුන්ටම ආවේනික ක්‍රමයකට පිරිමින් අභිබවා යමින් සිටින බවය. ඒවා විද්‍යාවට, දේශපාලනයට, ව්‍යාපාරයට පමණක් නොව ක්‍රීඩාවටත් එකසේ පොදුය.

ස්පාඤ්ඤයේ ඇනා කරෙස්කෝ ඊයේ පෙරේදා ලෝක වාර්තාවක් තැබුවාය. ඇය මේ වාර්තාව තැබුවේ යතුරුපැදි ලෝක ශුරතාවලිය ජයගත් පළමු කාන්තාව ලෙසටය. අති වේගවත්, ත්‍රාසය මුසුවූ යතුරුපැදි ධාවන ක්‍රීඩාවේ නිරතවීම සියුමැලි දෑත් ඇති කාන්තාවකට එතරම් පහසු නැත. ඇරත් 21 හැවිරිදි වියෙහි පසුවන සුකුමාල තරුණියකට එය ඉතා දුෂ්කර කටයුත්තකි.

යතුරුපැදි ලෝක ශූරතාවලියකට සුදුසුකම් ලැබීමට පිරිමින්ටත් සෑහෙන සටනක් දිය යුතුව තිබෙද්දී මේ හැඩකාර තරුණිය යතුරුපැදි ශූරතාව දිනාගත්තාය.

ඇය කියන්නේ මේ ජයග්‍රහණය කාන්තාව යතුරුපැදි ශූරතා නිවසට රැගෙන යාමේ ආරම්භය බවය.

ලෝක යතුරුපැදි ශූරතා ඉතිහාසය එහෙම පිටින්ම උඩුයටිකුරු කළ ඇනාගේ ජයග්‍රහණය ගැන විචාරකයන් කියන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී කාන්තාව අලුත් පිම්මක් පැන ඇති බවය.

රටවල් 8ක් ආවරණය කරමින් පසුගිය අප්‍රේල් මාසයේ ආරම්භ වූ මේ ශුරතාවලියට තරග වැදීමට ඇනා එද්දී කිසිවකු ඇය ගැන වැඩිපුර සිතන්නට ගියේ නැත. කවුරුත් සිතුවේ යතුරුපැදි ක්‍රීඩාව කාන්තාවන්ට කොහෙත්ම ගැලපෙන්නේ නැති බව දැන දැනත් ඔවුන් තරග වදින්නේ ඇයිදැයි යන්න ගැනය. එහෙත් ඇනා ඊට කදිම පිළිතුර ලබාදුන්නේ තත්පරයකින් දහයෙන් පංගුවක පරතරයකින් ලෝක යතුරුපැදි තරග බිමේ සුපිරි ක්‍රීඩක මිකා පෙරස් පරදවමිනි.

වසර 2013 සිට යතුරුපැදි ක්‍රීඩාවේ නිරතව වන ඇය පදින්නේ ලෝක ශූරතාවලියකට ප්‍රමාණවත් වේගයක් පවා නොමැති කවසාකි වර්ගයේ යතුරුපැදියකි.

අවුරුදු 16දී මුලින්ම යතුරුපැදි ක්‍රීඩාවට එක්වූ ඇනාට මුලදී ජයග්‍රහණය අත පොවන මානයක තිබුණේම නැත.

‘මේ ජයග්‍රහණය ගැන මට පුදුමාකාර සතුටක් දැනෙනවා. අවුරුදු 16දී මං මුලින්ම යතුරුපැදි ක්‍රීඩාවට එක්වෙද්දී හැමෝම මට හිනාවුණා. ඒත් ඒ අයට දැන් මම හොඳ උත්තරයක් දීලා තියෙනවා. කතා කරන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා.‘ ජයග්‍රහණයෙන් පසුව ඇය එසේ කීවාය.

යතුරුපැදි ක්‍රීඩාවේදී කාන්තාවට ලැබෙන්නේ අඩුසැළකිළි. හැමෝම හිතන්නේ මේ ක්‍රීඩාව අපට කරන්න බැරි දෙයක් කියලයි. මං කියන්නේ තව තවත් කාන්තාවන් යතුරුපැදි ක්‍රීඩාවට එක්විය යුතුයි කියලයි.‘ ඇනා එසේ ද කියන්නීය.

තරගමාලාව නිමාවෙද්දී ඇනා සමස්ත ලකුණු සටහනේ ලකුණු 93ක් ලබා ශූරතාවට හිමිකම් කියද්දී ඇගේ රටේහිම ප්‍රතිවාදියා වූ මිකා පෙරස් ප්‍රසාද ලකුණු 92ක් ලබා දෙවැනි තැනට පත්විය.

ඇනා තවමත් මවු පදවිය ගැන සිතා නැත. ලෝක ශූරතාව ජයගත් ඇගේ එකම කල්පනාව තොටිල්ල පදවන්නට පෙර යතුරුපැදි තරග බිමේ තව ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමය.

සටහන
ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();