Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටපුරා ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් ඉදිරියේදී පිහිටුවනවා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

මුලු රටපුරා ආවරණයවන පරිදි ක්‍රීඩා මධ්‍යස්ථන 500ක් ඉදිරි කාලයේ නිර්මාණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමගින් ප්‍රධාන පාසල්වල සේම අනෙකුත් පාසල්වල දරු දැරියන්ට ක්‍රීඩා පහසුකම් වැඩි දියුණු කිරීමේ අවස්ථා උදාවන බව අගමැතිවරයා සදහන් කළේය. කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවූ 34 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල ඇමැතූ වික්‍රමසිංහ මහතා මේ බව පැවැසිය.

මෙරට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා එළි දැක්වීම උදෙසා වසර 1984දී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බිහි කරමින් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැක්වූ අති විශිෂ්ට සේවය වෙනුවෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු සංවිධායක පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ උපහාරයක් පිරිනැමීම මෙහි විශේෂ සිදුවීමක් විය.

මෙරට ක්‍රීඩාව දියුණු කිරීම උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා යෞවන කටයුතු අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

“ ආසියානු කළාපය ඇතුලු ජාත්‍යන්තරයේ තරග කොට ජයග්‍රහණය කළ හැකි දක්ෂයින් බිහි කිරීමේ වැඩ පිළිවෙලක් දැන් අපට අවශ්‍යව තිබෙනවා. පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලට අප විශාල පිරිසක් සහභාගී කළා. සහභාගීත්වය මෙන්ම ජයග්‍රහණ ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතුයි. දක්ෂයින්ට පහසුකම් වැඩි කිරීමේ අරමුණින් අගමැති ක්‍රීඩා අරමුදලක් ඇති කොට තිබෙනවා. ඉදිරියේදී බණ්ඩාරවෙල විද්‍යා පීඨය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබාදීම සැලසුමයි“ අගමැතිවරයා පැවැසීය.

“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ආරම්භ වුණේ 1984දී. එයින් සියලු පළාත්වල දක්ෂයින් බිහිවුණා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග ආරම්භවීමත් සමග පාසල තුලින් ක්‍රීඩාව සීග්‍ර වර්ධනයක් ලැබූවා. පාසල් දරුවන් තුල විවිධ දක්ෂතා තිබෙනවා. ඇතැම් අය විභාග ජයගෙන ඉදිරියට යනවා. කාර්මික, සෞන්දර්ය හා ක්‍රීඩාව තුලින් පාසල් දරුවන් දක්ෂතා පෙන්වනවා. ඒ දරුවන්ගේ හැකියාව නිසි ලෙස හදුනාගෙන ඉදිරියට ගැනීම අපේ එකම අරමුණයි“ රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

උතුරු - නැගෙනහිර ඇතුලු අනෙකුත් සියලු පාසල්වලින් දක්ෂතම දරුවන් පිරිසක් බිහි කිරීමට මෙම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල තුලින් හැකිවන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

“ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල 1984දී බිහි නොකරන්නට මෙරට පාසල් ක්‍රීඩාව මෙතරම් ප්‍රබෝධයක් ලබන්නේ නෑ. ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබුවන් 3850ක් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බදවා ගැනීම සදහා මේ වනවිට කටයුතු කොට තිබෙනවා. එම පිරිස් කඩිනමින් බඳවා ගැනීමට රජය කටයුතු කරනවා. සීමා මායිම්වලට එහා ගොස් සංවර්ධන කාර්ය ඉටුකිරීම අපේ සැලසුමයි“ අධ්‍යාපන ඇමැතිවරයා සදහන් කළේය.

ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව දැල්වීම දැල්වීම ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 රන් පදක්කම් දිනූ අකුරම්බොඩ ජාතික පාසලේ අරුණ දර්ශන හා දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනාගත් මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහලේ අමාශා ද සිල්වා අතින් සිදු කෙරුණි. ක්‍රීඩක ප්‍රතිඥාව කියැවීම කුරුණෑගල මලියදේව විදුහලේ පසිදු කොඩිකාරට භාරවිය.

පළමු වාර්තාව හේෂාණිගෙන්

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා ශූරතාවලියේ පළමු තරග වාර්තාව කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා විදුහලේ ඩබ්.කේ.හේෂාණී මහේෂිකා විසින් පිහිටුවනු ලැබුවාය. අවුරුදු 16න් පහළ කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්වෙන් මීටර් 38.98ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් ඇය මේ වාර්තාව තැබුවාය. මීට පෙර පසුගිය වසරේ ශූරතාවලියේදී ඇය විසින් මීටර් 34.58කින් තැබූ වාර්තාව ඒ අනුව බිඳ වැටිණි.

එහි දෙවැනි ස්ථානය මීටර් 33.81ක දක්ෂතාවක් පෙන්නුම් කළ බිෂොප් විදුහලේ ඔවිනි චන්ද්‍ර සේකර විසින්ද, තෙවැනි ස්ථානය මීටර් 24.49ක දක්ෂතාවක් පෙන්නුම් කළ ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ යෙලනි පබසරා විසින් ද දිනාගනු ලැබූහ.

ඊයේ දිනයේ බිහිවූ දෙවැනි නව තරග වාර්තාව වූයේ අවුරුදු 12න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ශිහාරා සඳමිණි සිල්වා මීටර් 4.89කින් දැක්වූ දක්ෂතාවයයි. එම වාර්තාව ද ඇය විසින් පසුගිය වසරේ ශූරතාවලියේදී මීටර් 4.55කින් පිහිටුවා තිබිණි.

එහි දෙවැනි ස්ථානය පොලොන්නරුව මැදිරිගිරිය ජාතික පාසලේ තරූෂි ලුනුවිල මීටර් 4.58කින් සහ තෙවැනි ස්ථානය කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රී අරුනවි මීටර් 4.53කින් දිනාගත්හ.

අවුරුදු 20න් පහළ කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වේ ජයග්‍රහණය මීටර් 9.86ක දක්ෂතාවක් පෙන්නුම් කළ මහපොතාන පණ්ඩුල මහා විද්‍යාලයේ ජී.ඒ.එන්.ප්‍රියදර්ශනී විසින් දිනාගනු ලැබුවාය. එහි දෙවැනි ස්ථානය කහටගස්දිගිලිය රන්පතුවිල මහා විද්‍යාලයේ ටී.එම්.කේ.බුද්ධිමා (මීටර් 9.72) සහ තෙවැනි ස්ථානය මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ගයානා ද සිල්වා (මීටර් 9.71) දිනා ගත්හ.

පාසල් මළල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය අදයි. අද දිනයේ අවසන් තරග 22ක් පැවැත්වීමට නියමිතය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();