සුපුරුදු පරිදි සමස්ත ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිමින් හතලිස් හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාවූයේ එක් නව තරග වාර්තාවකට පමණක් සීමාවෙමිනි.
ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වූ උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර අඛණ්ඩව 9 වැනි රන් පදක්කම දිනාගත් අතර එය ඔහුගේ 11 වැනි ජාතික ක්‍රීඩා පදක්කම විය.
2001 වසරේ පළමු වරට ජාතික ක්‍රීඩා උළෙලේදී මේ ඉසව්ව ජය ගැනීමට මංජුල සමත්වූ අතර වසර 17කට පසුවත් ඔහුට අභියෝග කිරීමට කිසිවෙකුත් සමත්වී නොමැතිවීම කැපී පෙනෙයි.
අමෙරිකාවේ සිට මෙවර තරගාවලියට එක්වූ කපුකොටුව යගුලිය සහ කවපෙත්ත ඉසව්වල ජය වාර්තා කළේ වසර 2014ට පසුවය. මෙවර තරගාවලියේ බිහිවූ එකම නව තරග වාර්තාව මිටිය විසිකිරීමේ ඉසව්වෙන් බිහිකළ කපුකොටුවට විරෝධතාවක් හේතුවෙන් යගුලිය රන් පදක්කම අහිමිවිය.
මෙවර තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා වෙමින් මීටර් 100 සහ 200 ඉසව්වන්ගෙන් වසර 3කට පසු විනෝජ් සුරංජය ජයගත් අතර පසුගිය වසරේ එම ඉසව් දෙකේ ජාතික ශූරයාවූ ඩබ්.පී.ඩී.කේ.විජේරත්නට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.
එක දිගට පස්වරක් මීටර් 5000 දිනූ ලයනල් සමරජීව දෙවැනි තැනට ඇද දැමීමට ආර්.එම්.එස්.පුෂ්පකුමාර සමත්වූ අතර මීටර් 10000 ඉසව්වද 6වරක් ජයගෙන සිටි සමරජීව එම ඉසව්වෙන්ද දෙවැනියා කිරීමට කුමාර් ශන්මුගේෂ්වරන්ට හැකි විය. මීටර් 400 කාන්තා කඩුලු ඉසව්වේ පසුගිය වසරේ ජයග්‍රාහිකාව වූ කෞෂල්‍යා මධුෂානි දෙවැනි තැනට දැමූ ජී.ඒ.එස්.දුලානි රන් පදක්කම දිනූ අතර තුන්පිම්ම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා සහ ජාතික ක්‍රීඩා උළෙල වාර්තාවන්ට හිමිකම් කියන විදූෂා ලක්ෂානි දෙවැනි කිරීමට හෂිනි ප්‍රබෝධා සමත්වූවාය.
මේ දස්කම සමගින් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයද හෂිනිට හිමිවිය. කාන්තා හෙල්ල විසිකිරීමේ රන් පදක්කම වසර 2කට පසු යළිත් තමන් සතුකර ගැනීමට නදීකා ලක්මාලි සමත්වූයේ 10 වැනි ජාතික ක්‍රීඩා උළෙල රන් පදක්කම දිනා ගණිමිනි. මිටිය විසිකිරීමේ ජාතික ශූරියවූ එස්.එම්.අමරසිංහ පරාජය කිරීමට පී.කේ.ඒ.ඒ.මධුවන්ති සමත්වීමද කැපී පෙනුණි.
මීටර් 400 පිරිමි සහාය ඉසව්ව වසර 38කට පසු ජය ගැනීමට ඌව පළාත් ක්‍රීඩකයෝ සමත්වූ අතර දකුණු පළාත් ක්‍රීඩිකාවෝ වසර 12කට පසුව මීටර් 100 සහාය රන් පදක්කම දිනා ගත්හ.
මීටර් 800 පිරිමි ඉසව්වෙන් ඉඳුනිල් හේරත් පිට පිට තෙවැනි වරටත් ජයගත් අතර ඒ.එල්.ඒ.අයි.රත්නසේන මී.400 කඩුලු පැනීමෙන් තෙවැනි රන් පදක්කම දිනා ගත්තේය. පිරිමි රිටි පැනීමේ ඉසව්ව ජාතික ශූර ඉෂාර සඳරුවන් ජයගත්තේ පිට පිට 5වැනි වතාවටය.
මීටර් 10000 කාන්තා ඉසව්ව පිට පිට සිවුවැනි වරටත් ලංකා ආරියදාස දිනාගෙන ඇති අතර මී.110 කඩුලු ඉසව්වෙන් ඩබ්.වී.එල්.සුගන්ධි රන් දිනුවේ තෙවැනි වරටය. තාරිකා ප්‍රනාන්දු යගුලිය ඉසව්වත්, දකුණේ ක්‍රීඩිකාවෝ මී.400 සහාය ඉසව්වත් ජය ගත්තේ අඛණ්ඩව 6වැනි වරටය.
නිරෝෂාන් ප්‍රියංකර
ඡායාරූප - රංජිත් අසංක

0 Comments