ක්‍රිසන්ති විතාරණ
වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මූලික හේතුව මුදල ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ XBAN 2018 ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,
“පාසල් ක්‍රිකට් කණ්ඩායම හෝ ජාතික කණ්ඩායම හෝ නියෝජනය කරන අවස්ථා වලදී අපේ සිතට දැනුණේ විශාල අභිමානයක්. විශේෂයෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන විටදී ඒ අභිමානය විශාල වශයෙන් දැනුණා. අපි තමයි රටේ මිලියන විස්සක ජනතාවක් නියෝජන කරන්නේ. එය අපිට ලැබුණු විශාල ගෞරවයක්. ඒ ගෞරවය කිසිම විටක අපි මුදලට පාවා දුන්නේ නැහැ. අපි කිසිම විටක මුදල් සොයා ගෙන ගියේ නැහැ. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ. අද මුදල පිටුපසම යාමේ සංස්කෘතියක් ඇතිව තියෙනවා. ඒක රටක් හැටියටත්, ක්‍රීඩාවක් හැටියටත් එහෙමයි. අපේ සමාජයත් එහෙම වෙලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේකෙන් කොහොමද අපි මිදෙන්නේ කියලා.
තමුන්නාන්සේලා දන්නවා පහුගිය දවස් කිහිපයේ අපිට ඉතාමත් අවාසනාවන්ත ප්‍රවෘත්ති කිහිපයක් අසන්නට ලැබුණා ක්‍රිකට් ක්‍රීඩාව ගැන. එවැනි තත්ත්වයකට ක්‍රිකට් ක්‍රීඩාව වැටුණේ ඇයි ? ඒයට මූලිකතම හේතුව වුණේ ක්‍රිකට් ආයතනයත් ඇතැම් ක්‍රීඩකයනුත් මුදල් පස්සේ යාම. දැන්වත් මේ තත්ත්වය වෙනස් කිරීමේ කාලය උදාවෙලා තියෙනවා. අපි තාම පරක්කු නැහැ. අපේ ගුරුවරු අපිට වේවැල් පාරක් දුන්නේ අපිව හදා ගන්න. ඒ නිසා වේවැල පාවිච්චි කරනවාට මම නම් විරුද්ධ නැහැ. ඒ කාලේ අද වගේත් මානව හිමිකම්කාරයෝ කවුරුත් හිටියේ නැහැ. අද ගුරුවරයෙක් කාටහරි අතක් ඉස්සුවොත් පොලීසි යනවා. මානව හිමිකම් කාරයෝ ඉන්නවා. මේ හරහා අපි අපේ සංස්කෘතියත් විනාස කරගෙන තියෙනවා. ඇත්තටම අද රටක් හැටියට ඉදිරියට යාමේදී අපිට තියෙන ලොකුම බාධාව වන්නේ අපේකම් අමතක වීම. අපේකම අමතක කරලා අපිට ඉදිරියට යන්න නොහැකියි ” යනුවෙන් ද පැවසීය.

0 Comments