අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ සමත් විය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා පිල හෙට (7) තෙවරක් ආසියානු ශූරතාව දිනා ඇති ඉන්දියාව සමගින් අවසන් තරගයට එක්වෙයි.
බංග්ලාදේශයේ මීර්පුර්හී ශ්‍රී බංග්ලා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල හමුවේ පසුගිය වසරේ ආසියානු ශූරයන් වූ ඇෆ්ගනිස්තානය ලකුණු 31කින් පරාජයට පත්විය.
තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී 209ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයට ඕවර 48.3කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178ක් පමණි.
නායක රහමනුල්ලා ගුර්බාස් ලකුණු 46ක් රැස් කරමින් ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. හතරේ පහරක් සහ හයේ පහර 4ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමට පන්දු 70ක් වැයවිය. ලිජාස් අහමඩ් 37ක්, බසීර් ඛාන් ලකුණු 27ක් ඉනිමට එක් කළහ.
රහමනුල්ලා සහ බසීර් අතර දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 49 ඉනිමේ ඉහළම සබඳතාව විය.
පන්දු යැවීමේදී ශෂික දුල්ෂාන් කඩුලු 4ක් දවාගත් අතර නවෝද් පරණවිතාන සහ කල්හාර සේනාරත්න කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර ආරම්භක පිතිකරුවන් දෙදෙනා යළි ක්‍රීඩාගාරයට හරවා යමින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් එල්ල කළ පීඩනයට සාර්ථකව මුහුණදුන් නුවනිඳු ප්‍රනාන්දු අගනා ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.
මුල් පෙළ පිතිකරුවන් 4දෙනකු ලකුණු 42ක් තුළ දැවී ගොස් තිබියදී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි නුවනිඳු ඉනිමේ බර කරට ගනිමින් කළණ පෙරේරා සමගින් ලකුණු 57ක්ද, නායක නිපුන් ධනංජය සමග ලකුණු 67කද සබඳතා පිහිටුවමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීය. මේ සබඳතා දෙක සඳහාම පන්දු 79ක් බැගින් වැයවී තිබිණි.
නුවනිඳු-කළණගේ 5 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 99දී බිඳ වැටුණේ කළණ ලකුණු 22කට දැවී යෑමෙනි. ඔහු පන්දු 39කදී හතරේ පහරක් ඉනිමට එක්කරගෙන තිබිණි. අනතුරුව නුවනිඳුට එක්වූ නායක නිපුන් මුළු ලකුණු සංඛ්‍යාව 166 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 27ක් රැස්කරමිනි. හතරේ පහර 2ක් සමගින් පන්දු 41කට මුහුණදී සිටි නිපුන් දැවී යෑමෙන් එම සබඳතාව නිමාවට පත්විය. විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ නුවනිඳු 7 වැනි කඩුල්ල ඉනිමේ අවසන් පන්දුවෙන් දැවීයනවිට මුළු ලකුණු සංඛ්‍යාව 209ක් විය. ඔහු 7 වැනි කඩුල්ලට පසිඳු සූරියබණ්ඩාර (17) සමගින් ලකුණු 41ක සබඳතාවක් ගොඩනගා තිබිණි. පන්දු 129කට මුහුණදුන් නුවනිඳු ලකුණු 111ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.
පන්දු යැවීමේදී අබ්දුල් රහ්මන් කඩුලු 3ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා යොවුන් පිල - 209/7යි. (ඕවර 50) නුවනිඳු ප්‍රනාන්දු 111, නිපුන් ධනංජය 27, කළණ පෙරේරා 22 (අබ්දුල් රහ්මන් 42/3)
ඇෆ්ගනිස්තාන යොවුන් පිල - 178යි. (ඕවර 48.3) රහමනුල්ලා ගුර්බාස් 46, ලිජාස් අහමඩ් 37 (ශෂික දුල්ෂාන් 24/4, නවෝද් පරණවිතාන 17/2, කල්හාර සේනාරත්න 41/2)

0 Comments