ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි සඳහන් වේ. ඒ පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවාද නැතිනම් පැරණි ක්‍රමයට පවත්වනවාද යන්න සම්බන්ධයෙන් ඇමැතිවරුන් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් බව පැවසේ.
පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව අධ්‍යයනය කර නිර්දේශ කිරීම සඳහා පත්කළ කමිටුව පසුගියදා රැස්වූ බවත් පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයටම පවත්වන්නේද නැතිනම් අලුත් ක්‍රමයට පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ වැඩි කැමැත්තක් දක්වන බවද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීම යැයි පවසා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්නේ ද කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ එකඟතාව අනුව බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා එහිදී පෙන්වා දී තිබේ.
මේ අතර ඇමැති ෆයිසර් මුස්තාෆා අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ නැවත පැරණි ක්‍රමයක් ගැන කතා කළ නොහැකි බවත් ශ්‍රීලනිපයේ ස්ථාවරය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම බවත්ය.
එහිදී අදහස් දක්වා ඇති ඇමති පාඨලී චමිපික රණවක පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය සම්බන්ධයෙන් ඇත්තේ විකල්ප තුනක් බව සඳහන් කර ඇත. අලුතින් සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනත අහෝසි කර පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම, අලුත් පනතේ අඩුපාඩු නිවැරදි කර අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වීම, සීමා නිර්ණ කමිටු වාර්තාවේ අඩුපාඩු නිවැරදි කර ඊළඟ මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පවත්වන තෙක් මේ මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම යන්න එම විකල්ප තුන බවද ඇමැති රණවක පවසා ඇත.
ඇමැතිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ගැන කැබිනට් රැස්වීමේදී පමණක් සාකච්ඡා නොකර වහාම දේශපාලන පක්ෂ සියල්ල කැඳවා මේ පිළිබඳව කඩිනමින් සාකච්ඡා කළ යුතු බව පවසා ඇත. ඒ අනුව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතු සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වනදා පැවැත්වෙන ඇතැයිද සඳහන් වේ.
The post කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු අතර මත ගැටුමක්. appeared first on Lanka News Column.


0 Comments