- යගුලිය - කවපෙත්ත - දුනු විදීම ත්‍රිත්වයම ජයගත් පාලිත ගුණවර්ධනට දක්ෂතම ක්‍රීඩකයා සම්මානය
කොළඹ අසරණ සරණ සමිතිය මගින් සංවිධාන කළ කෘත්‍රිම පාද පළඳින්නන්ගේ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට කේ.ඒ.පාලිත ගුණවර්ධන සමත්විය. පසුගියදා කොළඹ 2, ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයේදී 29 වැනි වරටත් පැවැති මේ ක්‍රීඩා උළෙල සංවිධාන කරනු ලැබුවේ ජායිපූර් කෘත්‍රිම පාද වැඩසටහන ශ්‍රී ලංකාවේ මෙහෙයවනු ලබන කොළඹ අසරණ සරණ සමිතියේ187 වැනි සංවත්සරය නිමිත්තෙනි.
ශ්‍රී ලංකාව පුරා සිටින කෘත්‍රිම පාද පළඳින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික පිරිසක් සහභාගිවූ මේ ක්‍රීඩා උළෙලට තරග ඉසව් 63ක් ඇතුළත් විය. හමුදා ක්‍රියාන්විත ඇතුළුව විවිධ හේතු මත පාද අහිමිවූ සහ උපතින්ම පාද අහිමිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැවැත්වෙන එඩෙක්ස් ක්‍රීඩා උළෙලේදී පාලිත ගුණවර්ධන දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ඔහු සහභාගි වූ (දණහිසට ඉහළ තරග අංශය) යගුලිය වීසිකිරීම, (දණහිසට පහළ තරග අංශය) කවපෙත්ත වීසිකිරීම සහ (දණහිසෙන් ඉහළ සහ පහළ තරග අංශ) දුනු විදීම ඉසව් ත්‍රිත්වයම ජයගැනීම හේතුවෙනි.
මේ ක්‍රීඩා උළෙලේ දී ජේ.එම්.අයෝධ්‍යා ධනංජනී අවුරුදු 15න් පහළ මීටර් 100 (දණහිසෙන් පහළ තරග අංශය) තරගය සහ (දණහිසෙන් පහළ තරග අංශය) දුර පැනීම ඉසව් ජයගැනීමට සමත්වූ අතර මනෝජ් රත්නායක අවුරුදු 15න් පහළ (දණහිසෙන් පහළ තරග අංශය) මීටර් 100 සහ පාපැදි තරගය (දණහිසෙන් ඉහළ සහ පහළ තරග අංශය) ජයගත්තේය.
එම්.ආර්.එම්. රිෂාඩ් අවුරුදු 50න් පහළ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්වූ අතර නිලූකා දමයන්ති එහි කාන්තා තරග අංශය ජයගත්තාය. අවුරුදු 50න් ඉහල තරග ඉසව්වේදී ඩී.එම්.ජයසිරි සහ කමලා කලුතොටගේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්හ.
ඡායාරූප - චින්තක කුමාරසිංහ සහ ලයනල් පී.පෙරේරා

0 Comments