- ‘බොක්සිං වළල්ල අසල වෛද්‍යවරයකු සිටිය යුතුයි‘
- වසර 38කට පෙර මෙරට බොක්සිං වළල්ලේ සිදුවූ ඛේදජනක සිදුවීමක්
- ස්පොන්ච් යෙදු හිස් ආවරණ නීතිය 1984 සිට අනිවාර්ය වෙයි
විසිවැනි සියවසේ දෙවැනි හා තෙවැනි දශකවල දී යුද හමුදාවේ සේවය කළ සැරයන් ෆ‍්‍රැන්සිස් ජයවර්ධන අති දක්‍ෂ බොක්සිං ක්‍රීඩකයකු විය. එවකට ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් වාර්ෂිකව පවත්වන ලද ක්ලිෆර්ඞ් කුසලාන තරඟාවලියේ දී දක්‍ෂතම ක්‍රීඩකයා වෙත පිරිනැමෙන අභියෝගතා කුසලානය 1931 වසරේ සිට පිරිනැමෙන්නේ ඔහුගේ නමිනි. යුද හමුදාවට බැඳීමට පෙර ඔහු ක්‍රීඩාකර ඇත්තේ වයි. එම්. සී. ඒ සමාජය වෙනුවෙනි. එම නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් 1977 වසරේ සිට වයි. එම්. සී. ඒ සමාජය මගින් ඔහුගේ නමින් කණිෂ්ඨ ශුරතා තරඟාවලියක් අරඹන ලදි. එය පවත්වන ලද්දේ කොළඹ කොටුවේ පිහිටි වයි. එම්. සී. ඒ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීය.
1981 වසරේ මෙම තරඟය ජුනි 12 හා 13 යන දිනවල පවත්වන බව දන්වා දැන්වීමක් හා ඒ සඳහා ඉල්ලූම් පත්‍රයක් වයි. එම්. සී. ඒ සමාජයේ ක්‍රීඩා හා විනෝදාංශයේ ලේකම් ඉලසිංහ නමැති මහතෙකු විසින් පාසල්වලට හා ක්‍රීඩා සංගම් වෙත යවා තිබිණි.
එකම දිනවල බොක්සිං තරග 2 ක්
මේ සමයේ දී මම ශ්‍රී ලංකා බොක්සිං තීරක හා විනිසුරුවන්ගේ සංගමයේ ලේකම් ලෙස කටයුතු කළෙමි. ෆ‍්‍රැන්සිස් ජයවර්ධන තරඟය පැවැත්වෙන දිනවල් දක්වා වයි. එම්. සී. ඒ සමාජය මගින් ලිපි එවීමට මාසයකට පමණ පෙර ජුනි 11, 12 හා 13 යන දිනයන් හි යුද හමුදා නවක ක්‍රීඩකයන්ගේ තරඟය පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වන බවට යුද හමුදා ක්‍රීඩා මණ්ඩලයෙන් සියලු තීරක හා විනිසුරුවන් වෙත ලිපි එවා තිබු අතර, පිළිතුරු එවීම සඳහා රාජකාරි ලිපි කවරද එවා තිබුණි. එසේම එහි යාමට හා ඒමට සඳහා ප්‍රවාහන පහසුකම්ද යොදා ඇති බව ද දක්වා තිබුණි. මුලින් එවා තිබු මෙම ආරාධනාව පිළිගෙන හමුදා තරඟය සඳහා තමන් පැමිණෙන බවට බොහෝ තීරක හා විනිසුරුවෝ මේ වන විට පිළිතුරු යවා තිබිණි.
වයි. එම්. සී. ඒ තරඟයේ දින වෙනස්කි රීමට ලේකම් බෑ කියයි
යුද හමුදා තරග පැවැත්වෙන දිනවලට වයි. එම්. සී. ඒ තරග පැවැත්වීමට යෙදී තිබු නිසාත්, මුලින් ලැබු ආරාධනය පිළිගෙන විනිසුරුවන් සියල්ලම පාහේ පනාගොඩ යන බව මා දන්නා නිසා, වයි. එම්. සී. ඒ තරඟය වෙනස් දිනවල යොදා ගන්නා ලෙස විනිසුරුවන්ගේ සංගමය වෙනුවෙන් මම වයි. එම්. සී. ඒ ලේකම් ඉලසිංහ මහතාගෙන් ලිඛිතව හා දුරකථනය මගින් ඉල්ලා සිටියෙමි. එසේ නොවුවහොත් වයි. එම්. සී. ඒ තරගයට පැමිණෙන විනිසුරුවන් සංඛ්‍යාව මදිවන බව ද පැවසිමි. එහෙත් අහංකාර පුද්ගලයකු වු ඔහු මගේ සාධාරණ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කොට කියා සිටියේ තමන් කෙසේ හෝ යොදාගත් දිනවලට තරඟය පවත්වන බවයි.
ජූඩෝ මෙට්ට මත බොක්සිං තරගය
බොක්සිං තරග පවත්වන්නේ පොළොවෙන් මීටරයක් පමණ උස හතරැස් ලී වේදිකාවක් මතය. එහෙත් මෙම තරඟය පවත්වා ඇත්තේ පොළොව මතය. එලා තිබු කැන්වස් රෙද්ද යටින් තිබුණේ රබර් පැඩිං නොව ඝන ජුඩෝ මෙට්ටය. විනිසුරු මණ්ඩලයේ වැඩි දෙනෙක් යුද හමුදා තරග සඳහා පනාගොඩට ගොස් තිබු බැවින් වයි. එම්. සී. ඒ තරගය සඳහා පැමිණි සුළු පිරිස අතර යාවජීව සාමාජිකයන් වු රාජගිරියේ, ඔබේසේකර වලව්වේ සොහොයුරන් වු ඩැන්ටන් (අවුරුදු 75) ෆ්‍රෙඩි‍්‍රක් (අවුරුදු 70) සහ ඇලෙක්සැන්ඩර් (අවුරුදු 65) වුහ. ඊට අමතරව මල්ලව පොර හා බොත්සිං පුහුණු කරුවකු වු වුල්සි ෆොන්සේකා (අවුරුදු 77) සහ අවුරුදු 50 ඉක්මවු ටී.ජී. සෝමපාල සමඟ ප්‍රධාන පොලිස් පරික්‍ෂක එච්.පී.ජයසුරිය (අවුරුදු 55) සහ අවුරුදු 45ක් වයසැති පොලිස් අධිකාරී ධර්මසිරි වීරකෝන් යන අය පැමිණ සිටියහ. මොවුන් අතරින් ඇලෙක්සැන්ඩර් (1948 ලන්ඩන්) ජයසූරිය (1956 මෙල්බෝන්) වීරකෝන් (1960 රෝමය) ඔලිම්පික් තරග සඳහා තරග කළ අය වූහ. එදින කාල ගණක ලෙස කටයුතු කළේ 56 හැවිරිදි ඇන්ටන් ජෝන් මහතාය. ඔහුද හිටපු ජාතික ශුරයකු විය.
වෛද්‍යවරයකුට ආරාධනා කර නෑ. ප්‍රථමාධාරවත් නෑ.
බොක්සිං තරග පැවැත්වෙන අවස්ථාවලද බොක්සිං කවය අසල පිළිගත් බටහිර වෛද්‍යවරයකු සිටීම අනිවාර්ය වේ. තරඟයක් පැවැත්වෙන අවස්ථාවේ වෛද්‍යවරයාට ශාලාවෙන් පිටවීමට පවා අවසර නැත. තම පෞද්ගලික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම අවශ්‍ය වේ නම්, ඒ සඳහා පිටවී යා හැක්කේ තරග නතරවු විටය. එදින වෛද්‍යවරයකු පැමිණ සිටියේ නැත. වෙනත් බොක්සිං තරගවල දී වෛද්‍යවරයාට අමතරව රතු කුරුස හෝ ශාන්ත ජෝන් සංවිධානවලින් පුහුණුව ලත් නිල ඇඳුමින් සැරසී ගත් කිහිප දෙනෙක් ගිලන් රථයක් සමඟ ගෙන්වා ගැනීම සිරිතය. එහෙත් අභාග්‍යයකට මෙන් මෙම අවශ්‍යතා කිසිවක් වයි. එම්. සී. ඒ ක්‍රීඩා ලේකම් විසින් සංවිධාන කර නොතිබිණ.
ක්‍රීඩකයාගේ ඉරණම විසඳූ තරගය
රාත්තල් 110 - 115 අතර කාණ්ඩයේ එක් අර්ධ අවසාන තරඟයක් වුයේ කේරි විදුහලේ උසස් පෙළ සිසුවකු වූ 18 හැවිරිදි ශේන් ෆ්‍රෙඩික් ප්‍රනාන්දු සහ වයි. එම්. සී. ඒ සමාජයේ එම්.බී. කීර්ති බණ්ඩා අබේරත්න අතර පැවැති තරඟයයි. විනාඩි එකහමාරක වට තුනකින් සමන්විත වූ මේ තරඟයේ තීරකවරයා වුයේ 77 හැවිරිදි වුල්සි ෆොන්සේකාය. තරග විනිශ්චයකරුවන් වුයේ ෆ්‍රෙඩි‍්‍රක් ඔබේසේකර, ඇලෙක්සැන්ඩර් ඔබේසේකර සහ එච්.පී. ජයසූරිය යන අයයි. ඩැන්ටන් ඔබේසේකර මහතා ජුරි සභාවේ සභාපති ලෙස කටයුතු කළ අතර, ඔහුට සහාය වෙමින් ධර්මසිරි වීරකෝන් මහතා තරග නිවේදක ලෙස ද කටයුතු කළේය.
කේරි විදුහලේ තරඟකරු ශේන් ප්‍රනාන්දුගේ පුහුණු කාලය මාස 06 කටත් අඩුවිය. කෙසේ වෙතත් තරඟය කරට කර එකක් විය. වට තුනේදීම තරඟකරුවන් දෙදෙනා එකිනෙකාට තදින් පහර දුන්හ. තරඟය අවසානයේ දී විනිසුරුවන් තිදෙනා තමන් ලකුණු දැමු පත්‍රිකා තීරකට භාර දුන්හ. ඔහු ඒවා පරික්‍ෂාකර බලා ජුරි සභාවට භාර දුන්නේය. ඉන්පසු දෙදෙනාගේම ග්ලවුස් ඉවත් කරන ලද අතර, ඔවුන් දෙදෙනාගේම අත් අල්ලාගත් තීරක ප්‍රතිඵල නිවේදනය වන තෙක් බලා සිටියේය. තරඟයේ ජයග්‍රාහකයා ලෙස නිවේදනය වුයේ කීර්ති අබේරත්නගේ නමයි. තීරක අබේරත්නගේ අත එසවීය. තරඟකරුවන් දෙදෙනා එකිනෙකට අත දී තරග කවයෙන් පිටතට ගියහ.
පරාජිත ක්‍රීඩකයා රෝහල්ගත කරයි
තරඟයෙන් පසු අධි වෙහෙසට පත් පරාජිත ක්‍රීඩක ශේන් ශාලාවේ ජනෙල් පඩියක් මත තම මිතුරෙකු සමඟ වාඩිවී විඩා හරිමින් සිටියේය. ඔහුට තද හිසේ වේදනාවක් දැනුන නිසා ඔහුගේ පුහුණුකරු වූ එස්.එම්.රත්නජෝති වෙත ගොස් හිසේ ගැල්වීමට ‘‘බාම්’’ ඉල්ලා සිටියේය. ශේන් දෙස හොඳින් බැලූ පුහුණුකරුට ශේන් දැඩි වේදනාවෙන් දත්මිටි කන බව දැක ඔහුව අල්ලා ගත්තේය. ඒ සමඟම ශේන් විසංඥ වීය. හදිසියේ ආබාධයකට පත් ක්‍රීඩකයන් රෝහලට රැගෙන යාමට අවම වශයෙන් වෑන් රථයක්වත් සංවිධායකයෝ සුදානම් කොට නොතිබිණි. පුහුණුකරු සෙසු කේරි සිසුන් සමඟ ශේන්ව ඔසවාගෙන පාරේ තිබු කුලී රථයකින් මහ රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ගියහ. ශේන්ව මැනවින් පරික්‍ෂා කර බැලූ වෛද්‍යවරු ඔහුව හදිසි ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු යයි තීරණය කොට ඔහුව ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයට වහාම යැවුහ. අවාසනාවකට මෙන් පසුදින සෙනසුරාදා උදේ ශේන් මිය ගියේය.
පශ්චාත් මරණ පරික්‍ෂණය.
සංවිධායකගේ අසත්‍ය ප්‍රකාශය
සෙනසුරාදාම පශ්චාත් මරණ පරික්‍ෂණය පවත්වන ලද්දේ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී කේ. රත්නවේල් මහතා විසිනි. ඔහුගේ අදහසට අනුව මරණයට හේතුව හිසට තදින් පහර වැදීම නිසා මොලයට හානි සිදුවීම බවයි. එසේම වෛද්‍යවරයා විමසා සිටියේ බොක්සිං තරඟය පැවැත්වෙද් දී නීත්‍යානුකූලව එහි වෛද්‍යවරයකු නොසිටීමට හේතුවයි. ගොතන ලද අසත්‍ය සාක්‍ෂියක් ඉදිරිපත් කරමින් තරග සංවිධායක පවසා සිටියේ එදින එහි වෛද්‍යවරයකු සිටි බවකි. එමෙන්ම තරඟය පැවැත්වෙන අවස්ථාවේ දී වෛද්‍යවරයා මඳකට පිටතට ගොස් සිටි බවත් ඔහු කීවේය. එසේ මඳකට හෝ වෛද්‍යවරයා එහි නොසිටියේ නම් ඔහු යළි පැමිණෙන තුරු තරග නතර නොකළේ මන්ද යන ප්‍රශ්නයට නම් සංවිධායකට දියහැකි පිළිතුරක් නොවීය.
ඊළඟට එළැඹුණු ඉරුදින උදයේ නාගරික කොරනර් විසින් හදිසි මරණ පරික්‍ෂණය පවත්වන ලදි. එහි දී ප්‍රතිවාදියා වූ කීර්ති බණ්ඩා අබේරත්නත්, කේරි විදුහලේ බොක්සිං භාර ගුරුවරයා වු හිලරි ගුණවර්ධනත් සාක්‍ෂි දුන්හ. එහි දී තීරක ලෙස සාක්‍ෂි දුන්නේ වුල්සි ෆොන්සේකා වෙනුවට ටී.ජී. සෝමපාල මහතාය. 50 හැවිරිදි සාක්‍ෂිකරු කියා සිටියේ තමා එම තරඟයේ තීරක ලෙස කටයුතු කළ බවත්, මියගිය ක්‍රීඩකයාගේ හිසට පහරවල් නොවැදුන බවත්, එසේ පහරවල් වැදුනා නම් තමා තරඟය නතර කරන බවකි. මෙයත් අමූලික බොරුවකි. බොක්සිං තරඟවල දී වැඩි වශයෙන් පහරවල් එල්ල වන්නේ හිසටය. පහරවල්වල කම්පනය අඩු කිරීම සඳහා ස්පොන්ච් හෝ ඝන රබර් යෙදු හිස් ආවරණ පැළදීම 1984 වසරේ සිට අනිවාර්ය කළේ ඒ නිසාය.
ලකුණු පත්‍රිකා අතුරුදහන්
කෝර්නර් විභාගයට පෙර ලකුණු පත්‍රිකා අතුරුදහන් විය. ඊට හේතුව තීරක වශයෙන් කටයුතු කළේ වුල්සි ෆොන්සේකා බව ඒවාවල සඳහන් වී තිබුන නිසා මේ බව හෙළිවේ යයි යන බියෙනි. හදිසි මරණ පරික්‍ෂණයේ දී සාක්‍ෂි දීමට ෆොන්සේකා වෙනුවට සෝමපාලව ඉදිරිපත් කළේත් ලකුණු පත්‍ර අතුරුදහන් කළේත්, මතුවන ප්‍රශ්නවලින් ගැලවීමට කවුරුන් හෝ කළ කුමන්ත්‍රණයක් නිසාය. ඒ, උසාවිවල දී සාක්‍ෂි දී පුරුදු ඇති එදින සිටි පොලිස් නිලධාරින් විය හැකි යයි සැක සිතේ.
මරණය පිළිබඳවත් රෝහලේ පැවැති අධිකරණ වෛද්‍ය පරික්‍ෂණයක් පිළිබඳ ජුනි 16 වන ඉරිදා ‘සන්‘ පුවත්පතේද මියගිය ශේන්ගේ ඡායාරූපය සහිත විස්තරය එදිනම ‘සන්ඩේ ඔබ්සවර්‘ පුවත් පතේද පළවිය.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ හිටපු ලේකම්, පාසල් සංගමයේ හිටපු සභාපති ඩොනල්ඩ් මුණසිංහ

0 Comments