- ක්‍රීඩා ඡන්ද පැවැත්වීමේ ක්‍රමවේද විහිළුවක් වෙලා
- ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත අනුව ක්‍රීඩා ඇමැතිට අසීමිත බලයක් ගොඩනැගී ඇති හෙයින් ක්‍රීඩා දියුණුව ඉක්මණින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගත යුතුව ඇතැයි ක්‍රිඩා ඇමැති ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි. අනාගතයේ ඒකාධිපති ක්‍රීඩා ඇමැතිවරු බිහිවීම වලක්වාලීම උදෙසා ක්‍රීඩා පනත වෙනස් කිරීමේ අරමුණින් ක්‍රීඩා ඇමැතිවරයා උපදේශක මණ්ඩලයක් පත්කළ අතර එහි සභාපති ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා හා සාමාජිකයින් ලෙස තවත් නීතීඥවරු 8ක් නම් කර ඇත.
“ ක්‍රීඩා ඇමැතිට පනතින් ලැබී ඇති අභිමතය යම් විධියකට වෙනස් කළේ නැත්නම්, ඒකාධිපති ක්‍රීඩා ඇමැතිවරයෙකුගේ තත්ත්වය අනාගතයේදී නිර්මාණය විය හැකියි. එහෙම ක්‍රියා කළා කියා හිටපු කිසිදු ඇමැතිවරයෙකුට මා දොස් නගන්නේ නෑ. සෑම ඇමැතිවරයෙකුම ක්‍රීඩාවට විශාල සේවයක් කලින් කළ ලබාදී තිබෙනවා. ඒකාධිපති ඇමැතිවරයෙකු බිහි වීමේ ඉඩකඩ පනතේ තිබීම භයානකයි. ඒ නිසා දැන් තිබෙන පනත වෙනස් කිරීමට ජනතා අදහස් හා ක්‍රීඩා සංගම්වල අදහස් ගෙන කමිටු වාර්තාව මාස දෙකකින් ලබා ගැනීමට අපේක්ෂා කරනවා“ ඇමැතිවරයා පැවැසීය.
“ අද ක්‍රීඩා කණ්ඩායම අනුමත කන්නේ ඇමැතිවරයා, සියලුම තේරීම් කමිටු පත් කරන්නේ ඇමැතිවරයා, ක්‍රීඩා අරමුදල භාවිතා කරන්නේ ඇමැතිට අවශ්‍ය විදිහට, නිලවරණ නාම යෝජනා පිළිබඳ අවසන් තීරකයා ඇමැති. ක්‍රීඩා ඇමැති ලෙස පත්වූදා සිට මට ක්‍රීඩා කණ්ඩායම් අනුමත කිරීමට ලිපි ලැබෙනවා. මට තියෙන්නේ අනුමත කර අස්සන් තබන එක විතරයි. ඒවා ගැන හොයන්න මට වෙලාවක් ඇත්තේ නෑ. ලොකු දැනුමකුත් නෑ. ශ්‍රී ලංකාවේ ඕනෑම ඇමැතිවරයෙක් තමාගේ කාර්ය ඉටු කරන්නේ අමාතයාංශ ලේකම්වරයා හරහා. අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන ගනන් තැබීමේ නිළධාරියා මෙන්ම ප්‍රධාන විධායක බලතල ඇත්තෙක්. හැබැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ විතරයි ලේකම්වරයාගේ අනු දැනුම නොමැතිව ඇමැතිවරයාට කටයුතු කළ හැක්කේ. ඒ සදහා ක්‍රීඩා පනත ඇමැතිවරයාට අභිමත බලය ලබාදී තිබෙනවා. ඒ නිසා මෙය වෙනස් කළ යුතුයි. ස්වාධීන නිලවරණ කමිටුවක් අවශ්‍ය නැද්ද? ස්වාධීන අභියාචනා කමිටුවක් අවශ්‍ය නැද්ද? අද ක්‍රීඩා ඡන්ද පැවැත්වීමේ ක්‍රමවේදය විහිලුවක් බවට පත්වෙලා“ ඇමැතිවරයා පැවැසීය.
ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට පත් කළ උපදේශක මණ්ඩලය කිසිදු අයකිරීමකින් තොරව කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය. නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති මෙම කමිටුවේ ලේකම් ලෙස නීතිඥ ශිරෝමි රේණුකා රණවක මහත්මිය කටයුතු කරන අතර කමිටු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර, නීතිඥ ඉසුරු බාලපටබැඳි, නීතිඥ මිහිරාන් කරීම්, නීතිඥ පුලස්ති රූපසිංහ, නීතිඥ චාරක ජයරත්න හා නීතිඥ මහේෂ් සේනාරත්න වේ.

0 Comments