Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීතියේ ආධිපත්‍යය.

Rule_Of_Low

2005 -2015 ජනවාරි 08 වැනිදා දක්වා පැවති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ තරම් නීතියේ ආධිපත්‍යය දිය වී ගිය යුගයක් එදා මෙදා තුර මෙරට ඉතිහාසය තුළ දක්නට ලැබෙන්නේ නැත. එකළ රටේ පාලකයාගේ අව්‍යශ්‍යතාව රටේ නීතිය බවට පත්කරමින් පලකයන් නීතිය සියතට ගනිමින් කටයුතු කළ ආකාරයක් හොඳින්ම ප්‍රදර්ශනය විය යුධ ජයග්‍රහණයෙන් පසුව දකුණ විසින් මහින්ද රජපක්ෂ වීරයෙක් ලෙස හුවා දැක්වීමෙන් පසු ඔහු ආරූඪ කරගත් ඒ වීරත්වය නිසා තමා කළ යුත්තේ කුමක්ද , කරන්නේ කුමක්ද යන්න පිළිබඳ තැකීමක් නොවීය. එය ඔහුගේ විනාශයට පාර කීවා සේම රටේ විනාශයට ද පාර කියූ බව නම් රාජපක්ෂලා තවමත් අවබෝධ කරගෙන නැත.

යුද්ධය විසින් දකුණේ සමාජයට ඇති කර තිබු මානසික උත්තේජන තුළින් ඒ යුගයේ ආණ්ඩුව විසින්  රටේ ජනතාවනේ උදුරාගත් අයිතිවාසිකම්, මර්දන නීති අණ පනත්වල බරපතලකම සමාජය අවබෝධකරෙගෙන සිටියේ ඉතාම අල්ප වශයෙනි. නමුත් ඒවා රටේ ප්‍රතිරූපය විනාශ වීමට විශාල වශයෙන් බලපෑ බවනම් තතු දන්නෝ හොඳින්ම දනිති. ඒ මර්දනකාරී ප්‍රතිපත්ති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ මුල් යුගයේ පටන්ම ක්‍රියාත්මක විය. 17වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් එහි බලතල තමන්ගේ අතට අරගෙන සියලුම ඉහළ නිලතලවලට පුද්ගලයන් පත්කිරිම තමන්ගේ තනි කැමැත්ත මත පමණක් කිරීමට මහින්ද රාජපක්ෂ විසින් කටයුතු කරනු ලැබීය.

ඒ සෑම පත්කිරීමක්ම දේශපාලන හිතවත්කම මත සිදුකළ පත්වීම් පමණක්ම විය. ඉන්ද නොනැවතී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මිල මුදල් හෝ වෙනත් වරප්‍රසාද ලබාදෙමින් තමන් වෙත නතුකර ගනිමින් පාර්ලිමේන්තුවේ බලයද විධායකය යටතට ගැනීමට ඔහු කටයුතු කරනු ලැබුවේ රාජපක්ෂ පාලන සමයේ දීය.

ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධුරයට පත් ප්‍රථම කාන්තාව වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියව ධුරයෙන් නෙරපීමේ සිද්ධියේදී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රබල කතිකාවක් ගොඩනැඟුණු අතර සාමාන්‍ය ජනතාව තුළ පවා ඒ පිළිබඳ උනන්දුවක් ඇති වී තිබිණි. ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ සමානාත්මතාව පිළිබඳ කළ බරපතළ මැදිහත්වීමද නීතිය හා අධිකරණය ගැන ප්‍රබල සංවාදයක් ගොඩනැඟීමට සමත් වූ අතර සරත් ෆොන්සේකා සිරගත කිරීම හා ශිරාණි බණ්ඩාරනායක නෙරපීම ඒ සංවාදය තියුණු කිරීමට දායක විය.

රාජ්‍ය බලතල විමධ්‍යගතවීම සම්පූර්ණයෙන්ම අහෝසි කරමින් සියල්ල තමන් යටතට ගෙන  ඒකාධිපති රාජ්‍ය පාලනයකට රට ගෙනයමින් සිටි යුගයක පැවති 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළානම් රට සම්පූර්ණයෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ ඒකාධිපතිත්වයකට යටත් වීමේ පුරෝකතන ඉදිරිපත් වූ අකර එය ඇස්පණාපිට ඔප්පු කරන තත්ත්වයකටම එදා පාලකයෝ කටයුතු කරමින් සිටියහ.ඊට විරුද්ධව සිදුවූ ජනතා විප්ලවයට පින් සිදුවන්නට අද වන විට රට ඒ බියෙන් මිදී සිටියි.එය රටක් වශයෙන් ලැබූ විශාල ජයග්‍රහණයකි.

ඒ ජනතා ජයග්‍රහණය ලබා වසර තුනක් ඉක්මවූ තැන එදා ජනවාරි 08 විප්ලවය වෙනුවෙන් කැපවීම් කළාවූ පාර්ශවයන් සිදුකළ කැපකිරීම්වලට සාධාරණය රටක් වශයෙන් දැන් ප්‍රථිපල ලැබෙමින් පවතී. ඉන් එකක් ලෙස ලෝක යුක්ති ව්‍යාපෘතිය (World Justice Project) විසින් 2017-2018 වසර වෙනුවෙන් එලිදක්වන ලද  නීතියේ ආධිපත්‍ය Rule of Law Index වාර්ථාවට අනුව ශ්‍රී ලංකාව මෙම වර්ෂයේ දී ලකුණු 0.52ක්  ලබාගෙන ලොව රටවල් 113ක් අතරින් 59 වන ස්ථානයට පැමිණීමත් එය දකුණු ආසියානු රටවල් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමත් දැක්විය හැක.

මෙවර ලොව අංක 1 ලෙස ලකුණු 0.89ක් ලබාගත් ඩෙන්මාර්කය පැමිණ සිටින අතර 113වන ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 0.29ලබාගත් වෙනිසියුලාවය. දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය ලකුණු 0.53 ලබාගත් නේපාලය පත්ව ඇත. මෙම දර්ශකය සකස් කිරීමේදී  සලකා බලන සාධක අටකි. එනම් ආණ්ඩු බලයේ සීමාවන් (Constraints on Government Powers), දූෂණය නොමැතිකම (Absence of Corruption) , විවෘත ආණ්ඩුකරණය(Open Government), මූලික අයිතිවාසිකම්(Fundamental Rights), පාලනය හා ආරක‍ෂාව (Order & Security), නියාමන බලාත්මක කිරීම (Regulatory Enforcement), සිවිල් යුක්තිය (Civil Justice), අපරාධ යුක්තිය (Criminal Justice) ආදියයි.

2017-2018 නීතියේ ආධිපත්‍යය දර්ශකයෙහි සමස්තයට අනුව පළමු සථාන තුන ඩෙන්මාර්කය (1), නෝර්වේ (2) සහ ෆින්ලන්තය (3)යටත් අවසාන ස්ථාන තුන ඇෆ්ගනිස්ථානය (111), කාම්බෝජය (112) සහ වෙනිසියුලාව (113) යන රටවල් තුනටත් වෙන්ව තිබෙන අතර  2016 හා සසඳන විට ලෝකයේ ඉහළම හා පහලම ස්ථාන හිමිකරගත් රටවල් තුනෙහි වෙනසක් සිදුව නැත.

දකුණු ආසියාවේ ඉහළම කාර්ය සාධනය නේපාලය වන අතර ලෝකය පුරා රටවල් 113 න් 58 වන ස්ථානයට 58 වන ස්ථානය දක්වා ඉහළ නංවා ඇත. ඇෆ්ගනිස්තානය හැරුණු විට 111 වැනි ස්ථානයේ රැඳී සිටිමින් මෙම කලාපයේ සියලු රටවල් ගෝලීය මට්ටමේ වැඩිදියුණු වී ඇත. නමුත් ශ්‍රී ලංකාව විසින් රටවල් 113 ක සිට රටවල් 59 දක්වා ඉහළ නංවා ඇති අතර එය සැලකිය යුතු වර්ධනයක් සේ සැලකිය හැකිය.

ශ්‍රී ලංකාව මෙවන් සාර්ථකත්වයක් ඇති කර ගැනීමට හේතු වූ කරුණු කාරණා කිහිපයක්ම දැක්විය හැකි අතර ඒවා අතර 2015 ජනාධිපතිවරණයේ දී ලබා දුන් නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ ප්‍රතිපත්ති විශේෂයෙන්ම සැලකිය හැකිය.

ඒ අනුව එක්තරා ආකාරකින් බලද්දී මේ ඉටු වී තිබෙන්නේ මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 17 වැනි පිටුවේ සඳහන් “18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ඒ වෙනුවට නව ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් අධිකරණ, පොලීසිය, මැතිවරණ විගණන හා නීතිපති වැනි ආයතන වල අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම පිණිස ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමි” යනුවෙන් වූ පොරොන්දුවයි.

අනුව මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂණ් සභාව, මුදල් කොමිෂන් සභාව,ජාතික පොලිස් කොමිසම ස්වාධීන කෙරුණු අතර ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව වශයෙන් වත්මන් රජය විසින් ස්ථාපිත කළ නව කොමිෂන් සභා ද්විත්වයද සුවිශේෂී පෙරගමනකි. ඉන් මහින්ද රාජපක්ෂ යුගයේ පැවැති පුද්ගල බල කේන්ද්‍රනය වෙනුවට කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ලබාගත යුතු බවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රතිපාදන සලසා තිබීම මේ ප්‍රවණතා වෙනුවෙන් පුර්වගාමී වී තිබෙනව බව නම් පැහැදිළිය.

අප රට මේ ජයග්‍රණ අත්පත්කර ගන්නට පටන් ගත්තා පමණිු. මෙය ඉදිරියටත් පවත්වා ගැනීම රටකරන සැමගේ වගකීම වී ඇත. ඒ සඳහා රටේ නීතිය සෑම පුද්ගලයෙකුටම එක ලෙස ක්‍රියාත්මක වන ආකාරයක් ඇතිකර ගැනීම මෙන්ම මෙතෙක් රාජ්‍ය, එහි දේපළ අයථා ආකාරයෙන් තම පුද්ගල ලාභය සඳහා කඩා වඩා ගත් අය නීතිය ඉදිරියට ගෙන ඒම මේ මොහොතේ ඇති වැදගත්ම කාරණා ලෙස හැඳීන්විය හැකිය. මේ තුළින් සැමටම සාධාරණයක් පවතින රාජ්‍ය ක්‍රමය තුළින් ඉටුවේය යන විශ්වාසය රටවැසිය තුළ ඇතිකර ගනී. රටක් ස්ථාවර බවකට ගෙන ඒමට මෙය අත්‍යවශ්‍ය සාධකයකි. ඒ නිසා වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙනඒම එනිසා ඉතා වැදගත්ය.

එසේ නීතිය නිසි පරිදි ක්‍රියාවට නංවද්දී වැරදිකළ වුන් ඒවා දේශපාලනික පළිගැනීම් සේ පවසමින් තම අනුගාමිකයින් කුලප්පු කරවීමේ කටයුතු වල නිරත වනු ඇත. ඊයේ විවෘත කළ විශේෂ මහාධිකරණයේ නඩු අසන්නට පටන් ගත් විට මේ විගඩම් හොඳින් බලා ගත හැකිවනු ඇත. නමුත් ඒවා හුදු දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් බඩගෝස්තරයවාදී දේශපාලකයන්ගේ පැවැත්ම රඳාගැනීම වෙනුවෙන් සිදුනක දේවල් පමණක් බව ජනතාව අවබෝධ කරගත යුතුය.  ඒ නීතියේ ස්වාධීනත්වය සහ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම එහි ක්‍රියාකාරීත්වය සඳහා දායක වීමට අපටද වගකීමක් තිබෙන නිසාය.

– දිලංක ගුණතිලක

The post නීතියේ ආධිපත්‍යය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();