Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා සහාය දිවීමේ පිල අවසන් තරගයට

ශ්‍රී ලංකා රගර් පිල අද තරග බිමේ

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවැති මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගය විනාඩි 3:06.66කින් නිමකරමින් 3 වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

කණ්ඩායම් 13ක් එක්වූ සමස්ත තරගයෙන් වාර්තා කළ කාලය අනුව ශ්‍රී ලංකාවට 5වැනි තැන හිමිවිය. මේ කණ්ඩායමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු ලක්ෂාන් කොඩිකාර සහ අජිත් ප්‍රේමකුමාර ඇතුළත් වූහ.

මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් තරගය මෙය විය.

මේ ඉසව්වේ අවසන් තරගය අද (30) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.10ට පැවැත්වීමට නියමිතය.

උදය රණසිංහ සහ ඉෂාරා මධුරංගි ශ්‍රී ලංකාව සහභාගීවන මේස පන්දු තරග ආරම්භ කරමින් ඊයේ මිශ්‍ර යුගල ඉසව්වේ 32 දෙදෙනාගේ වටයේදී තරග වැදුණු අතර එහිදී තායිලන්තය හමුවේ ඔවුන්ට වට 3-0ක පරාජයක් අත්වූහ.

තරගයේ පළමු වටයේදී තායිලන්තය ලකුණු 11-1ක් ලෙස ඉදිරියට පැමිණි අතර දෙවැනි වටයේදී 11-2ක්ද, තෙවැනි වටයේදී ලකුණු 11-5ක් ලෙසද ජය අත්කර ගත්හ.

උදය රණසිංහ අද (30) ලාඕසයේ සොන්පසිත් මොසැංසිං පිරිමි කේවල 64 දෙනාගේ මූලික වටයේ තරගයේදී තරග වදින අතර ඉෂාරා මධුරංගි පාකිස්තානයේ ෆාතිමා ඛාන් සමගින් කාන්තා 64 දෙනාගේ මූලික වටයේ තරගයට එක්වෙයි.

මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ආරම්භ කරමින් අද (30) ග්ලෝරා බුන් කර්නෝ ක්‍රීඩා සංකීර්ණ‍යේ රග්බි පිටියේ ශ්‍රී ලංකා පිල තරග බිමට පිවිසෙයි.

සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයේ තරග වදින ශ්‍රී ලංකා පිලට ‘සී’ කාණ්ඩයේදී ප්‍රබල දකුණු කොරියාව සහ එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්තානය හමුවෙයි.

මේ කණ්ඩායමට මහනුවර ක්‍රීඩා සමාජයෙන් 5දෙනකු, සී.ආර්. ක්‍රීඩකයන් 4ක්, සී.එච් ක්‍රීඩකයන් දෙදෙනකු සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයකු ඇතුළත් වෙති.

නායක මුතුතන්ත්‍රී සමගින් ගයාන් වීරරත්න, ධනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්ව සිටීම ශ්‍රී ලංකාවට වාසියක්ව තිබේ.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ධනුෂ්ක රංජන්, ජේසන් දිසානායක, ධනුෂ් දයාන්, සුදම් සූරිආරච්චි, තරින්ද රත්වත්තේ, රීසා රෆයිඩීන්, රෙහාන් සිල්වා, කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ගයාන් වීරරත්න සහ බුද්ධිම පියරත්න ඇතුළත්ව සිටිති.

1998 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී පළමු වරට සත් සාමාජික රග්බි ඉසව්ව එක්විය. එවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ සත් සාමාජික රග්බි ක්‍රීඩකයෝ 7 වැනි තැන දිනා ගත්හ. එතැන් සිට තෙවරක් 6 වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව අවසන් වරට පැවැති තරගාවලියේදී සිවුවැනි ස්ථානයට පත්විය.

මේ අතර ක්‍රීඩා උළෙලේ ජූඩෝ තරග ඉසව් ඊයේ ආරම්භ වූ අතර අද (30) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 73ට අඩු පිරිමි බර පන්තියෙන් චාමර නුවන් ධර්මවර්ධන කිරිගිස්තානයේ බෙක්තූර් රෙස්මාම්බෙටොව් සමගින් තරග වදින අතර කිලෝග්‍රෑම් 81 ට අඩු බර පන්තියෙන් රජිත පුෂ්පකුමාර ඉන්දියාවේ හර්ෂදීප් සිං සමග තරග වැදීමට නියමිතය.

අද ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් පිල නේපාලය සමගින් 13-16ත් අතර ස්ථානය සඳහා වන තරගයට එක්වන අතර පිරිමි හොකී කණ්ඩායම 7-8 ස්ථානය සඳහා ඕමානය සමගින් තරග වැදීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට...

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();