Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොකක්ද මේ

කෝ කෝ යනු ඉතා සරළ ක්‍රීඩාවකි. කබඩි ක්‍රීඩාවට සමාන අයුරින් පැවැත්වෙන ක්‍රීඩාවක් වන මෙය ශාරීරික යෝග්‍ය්‍යතා වර්ධනය මූලික සිද්ධාන්තය කරගනිමින් පැවැත්වෙන අතර අඩු වියදමකින් කළ හැකිය.

මෙහිදී දිවීම සමගින් ක්‍රීඩකයන් හඹායාම, ලුහුබැඳ ක්‍රීඩකයන් දවාලීම, පහර වළක්වා කෙටි දුරක් වේගයෙන් දිව යෑමද සිදුවෙයි.

මේ සඳහා වෙන්වූ ව්‍යායාම් ක්‍රම 10ක් පමණ ඇති අතර ක්‍රීඩාවේදී විවිධ දිවීම් වර්ග 18ක් පමණ තිබේ.

කබඩි ක්‍රීඩාව ජනප්‍රියව පවතින ඉන්දියාව කෝ-කෝ ක්‍රීඩාවේ ආරම්භක රට ලෙස හැඳින්වෙයි. මෙය දකුණු ආසියානු කලාපයේ රටවල් අතර ජනප්‍රිය වෙමින් පවතින අතර එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු අප්‍රිකාව, ජපානය මෙන්ම දකුණු කොරියාවේද මේ වනවිට කෝ-කෝ ව්‍යෘප්ත වෙමින් පවතී. මෙවර ලෝක ශූරතාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතය.ජාතික පුහු­ණු­කරු අතුල විජේ­නා­යක

එක් පිලකට ක්‍රීඩකයන් 9 දෙනකු ඇතුළත් වන මේ ක්‍රීඩාව කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙයි. එක් තරගයක් ඉනිම දෙකක් ලෙස පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ කාණ්ඩය සඳහා තරග කාලය මිනිත්තු 36කි. කනිෂ්ඨ කාණ්ඩයේදී එය මිනිත්තු 28කි. එක් වාරයක් මිනිත්තු 9කට සීමාවෙයි. ඉනිම දෙක අතර විවේකය මිනිත්තු 9ක් වන අතර වාර දෙකක් අතර විවේකය මිනිත්තු 5කි. එය කනිෂ්ඨ අංශයේදී මිනිත්තු 7 (වාරයක්), ඉනිම දෙක අතර මිනිත්තු 6 සහ වාර දෙක අතර මිනිත්තු 3ක් ලෙස තරගය පැවැත්වෙයි.

විවේක කාලයෙන් පසු ආක්‍රමික අවස්ථාවේ සිටි ක්‍රීඩකයන් ආරක්ෂා වන ක්‍රීඩකයන් ලෙසද, ආරක්ෂක ක්‍රීඩකයන් ආක්‍රමනික ක්‍රීඩකයන් ලෙසද මාරුවෙයි.

ආක්‍රමිකයා ලෙස හැඳින්වෙන්නේ විරුද්ධ පිලේ ආරක්ෂකයන් ඇල්ලීමේ අරමුණින් ඔවුන් පසු පස පන්නන්නාය. සෙ.මී.30x30 කොටුවල වාඩිවී සිටින සියලුම ක්‍රීඩකයන් ලුහුබඳින්නන් වන අතර තම පිලට හිමි ආරක්ෂක කලාපය තුළ ආක්‍රමිකයාගෙන් බේරීම සඳහා පිටිය තුළ සිටින දුවන්නන් ආරක්ෂකයන් ලෙස හැඳින්වේ. ලුහුබඳින්නන්ට අමතරව කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් සියල්ලම දුවන්නන් ලෙස හැඳින්වේ. ආක්‍රමිකයෙක් දුවන්නාගේ (කොටුවල වාඩිවී සිටින ක්‍රීඩකයන්ගේ) ශරීරයේ පිටුපසට තට්ටු කර ‘කෝ’ යන්න හඬ නඟා කීම කෝ ලබා දීම ලෙස හැඳින්වෙයි.

තරගය අවසානයේ කණ්ඩායම් දෙක සම ලකුණු ලබා සිටීනම් නැවත කාසියේ වාසිය උරගා තරගය ආරම්භ කරන අතර ආක්‍රමික ක්‍රීඩකයන් ලබාගත් පළමු ලකුණ සමග ඒ සඳහා ගත කළ කාලය ආක්‍රමික අවස්ථාව අනෙක් පිලට ලබාදෙයි. පළමු පිල ගත කළ කාලයම අනෙක් පිලට ලබාදෙන අතර එම කාලසීමාව තුළ ලබාගත් ලකුණු සමගින් ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ.

මේ ක්‍රීඩාවේ විශේෂම අංගය වන්නේ කණුවේ හැරීමයි.

සෙ.මී.120-125ත් අතර උසකින් යුතු, සෙ.මී.9-10 අතර විෂ්කම්භයකින් යුත් ලී කණු මේ සඳහා යොදා ගැනේ. එම කණු දෙක පිටියේ දෙපස සිටුවයි.

ක්‍රීඩා පිටිය

මීටර් 30ත්, 20ත් අතර සෘජුකෝණාස්‍ර කොටසක කෝ-කෝ ක්‍රීඩා පිටිය පිහිටයි.

එහිදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සඳහා වන අවසාන රේඛාව මීටර් 16ක්ද, පැති රේඛාව මීටර් 29කින් ද සමන්විත පිටියේ මේ තරගය පැවැත්වෙන අතර කනිෂ්ඨ ක්‍රීඩකයන් සඳහා එම දුර ප්‍රමාණයක් මීටර් 14ක් සහ මීටර් 25කි.

මිනි කෝ-කෝ ක්‍රීඩාවේදී ක්‍රීඩා පිටිය දිග මීටර් 17.40ක් සහ පළල මීටර් 10කි.

කෝ-කෝ සම්මේලනය

ලෝක කෝ-කෝ සම්මේලනය සහ ආසියානු කෝ-කේ සම්මේලනය මේ ක්‍රීඩාව වෙනුවෙන් පිහිටුවා ඇත.

අතුල විජේනායක මහතා මෙරටට හඳුන්වාදුන් කෝ-කෝ ක්‍රීඩාවෙන් 1997 වසරේ පළමු වරට ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනය බිහිවන අතර එහි සභාපති වන්නේ මහවැලි ආර්ථික ඒජන්සියේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ.ඒ.මිල්ටන් අමරසිංහ මහතාය.

අක්‍රීය සම්මේලනයක් ලෙස කලක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිය අහිමිවූ මේ සම්මේලනය ජාතික පුහුණුකරු අතුල විජේනායක මහතා විසින් යළි පිහිටුවන ලදි. එහි වත්මන් සභාපති ලෙස කටයුතු කරන්නේ සමීර සේනානායක මහතාය.

මේ ක්‍රීඩාව 1960 දශකයේ ක්‍රීඩා විෂය නිර්දේශය යටතේ මෙරට පැවැති බව සඳහන් වුවද 1996 වසරේදී මිනුවන්ගොඩ නාලන්දා (පිරිමි) මධ්‍ය මහ විදුහලේ සහ මාරපොල මධ්‍ය විද්‍යාලයේදී අතුල විජේනායක මහතා විසින් ප්‍රථම වරට කෝ-කෝ ක්‍රීඩාව ආරම්භ කර තිබේ.

ප්‍රථම වරට ආසියාතික තරගාවලියක් ලෙස 1996 වසරේ ඉන්දියාවේදී කෝ-කේ තරගාවලියක් පැවැති අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද කණ්ඩායමක් එක්විය.

2016 වසරේ ඉන්දියාවේ පැවැති ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් වලට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි. මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු අතිශූර ක්‍රීඩකයා ලෙස විශේෂ සම්මාන හිමිකර ගැනීම කැපී පෙනුණි.

මිනි කෝ-කෝ

පසුගිය වසරේ මාතර කොටවිල පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති ප්‍රදර්ශනයේදී අවුරුදු 9-12ත් අතර දරුවන් සඳහා මිනි කෝ-කෝ ක්‍රීඩාව හඳුන්වාදීමට අතුල විජේනායක මහතා කටයුතු කළේය.

මෙහි මූලික අදියරේදී ළමුන්ට නොයෙක් ක්‍රම වලට ඇවිදීමට හා දිවීමට සලස්වමින් මූලික ඉරියව් හැදැරීමට කටයුතු කරයි.

මේ වනවිට මිනුවන්ගොඩ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහ විද්‍යාලයේ ළමුන් පුහුණුවීම් කටයුතු සිදු කරයි.

ජාතික ශූරතාවලිය

ශ්‍රී ලංකාවේ ප්‍රථම කෝ-කෝ ජාතික ශූරතාවලිය 1998 වසරේ දී දිස්ත්‍රික් 9ක සහභාගිත්වයෙන් ගම්පහ මාරපොල මහ විද්‍යාලයේදී පවත්වා තිබේ. එහි ශූරයන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි.

එම ශූරතාවලියට සමගාමීව කාන්තා කණ්ඩායම් සඳහා ක්‍රීඩාව හඳුන්වා දෙමින් මාරපොල විදුහල සහ මිනුවන්ගොඩ විගොඩ බාලිකා කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක්ද පැවැත්විණි.

මේ ජාතික ශූරතාවලියේ ජයග්‍රාහී කණ්ඩායම 1999 වසරේ ඉන්දියාවේ පැවැති ප්‍රථම ආසියාතික නමාජි රන් කුසලාන තරගාවලිය නියෝජනය කළේය. වර්තමානයේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරන අතුල විජේනායක මහතා එම කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. රටවල් 5ක සහභාගිත්වයෙන් පැවැති එම තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

පසුගිය වසරේ පැවැති ජාතික ශූරතාවලියට දිස්ත්‍රික් 13ක් නියෝජනය කරමින් කණ්ඩායම් 20කට අධික ප්‍රමාණයක් එක්වූ අතර එහි පිරිමි ශූරතාව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ ශ්‍රී ලංකා වරාය අධිකාරිද, අනුශූරතාව රත්නපුර දිස්ත්‍රික්කය නියෝජන කළ සබරගමුව විශ්වවිද්‍යාල කණ්ඩායමද දිනා ගත්තේය.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ මීගමුව සාන්ත ජෝශප් කණ්ඩායම කාන්තා ශූරතාව දිනාගත් අතර අනුශූරතාව සබරගමුව විශ්වවිද්‍යාල පිල සතුවිය.

මේ සම්මේලනය මගින් කෝ-කෝ ජාතික පිරිමි සහ කාන්තා තරගාවලි පැවැත්වීම, දිස්ත්‍රික් සංගම් පිහිටුවීම, කෝ-කෝ පාසල් තරගාවලිය පැවැත්වීම, පුහුණු කඳවුරු සහ විනිශ්චය කඳවුරු පැවැත්වීම, ජාතික පුහුණු සංචිතයට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩකයන් තේරීම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම ආසියානු සම්මේලනයේ අනුග්‍රහයෙන් ලබන සැප්තැම්බර් මාසයේදී දිස්ත්‍රික් පුහුණුකරුවන් 30 දෙනකු ඉන්දියාවේ පුහුණුවට යැවීමටත් කටයුතු යොදා ඇති අතර ඔක්තෝබර් මාසයේ කෝ-කෝ පිරිමි ජාතික කණ්ඩායමේ කොරියා සංචාරය, දෙසැම්බර් මාසයේ එංගලන්ත කෝ-කෝ කණ්ඩායමේ තරග 5කින් යුත් මෙරට සංචාරය ඉදිරියේදී සිදුවෙයි.

නිරෝෂාන් ප්‍රියංකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();