ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේදී නිමාවට පත්වූ විස්සයි20 තරගාවලියේ අනතුරුව පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලින් සීග්‍රයෙන් ඉදිරියට පැමිණීමට ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සමත්ව සිටී.
ඉනිම 3කදී අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 154ක් රැස්කරමින් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියාවූ රාහුල් 28 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරු වූ කුසල් ජනිත් පෙරේරා ස්ථාන 8ක් ඉදිරියට එමින් 31වැනි තැන හිමිකර ගෙන සිටී. ඔහු ඉනිම 3කදී අර්ධ ශතකයක් සමගින් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 100කි. තරගාවලියේ වැඩිම ලකුණුලාභියාවූ රෝහිත් ෂර්මා ස්ථාන 7ක් ඉදිරියට එමින් 14වැනි තැනට පත්ව සිටී.
රාහුල් මේ ශ්‍රෙණිගත කිරීම්වල අත්කරගත් ඉහළම ස්ථානයද මෙයයි. මේ අතර පෞද්ගලික හේතු මත තරගාවලියට එක්නොවූ ඉන්දීය නිත්‍ය නායක විරාට් කෝලි පළමු ස්ථානයේ සිට 3වැනි තැන දක්වා ස්ථාන 2කින් පහතට වැටී තිබේ.
ඉන්දීය ප්‍රවීණ පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි ස්ථාන 3ක් ඉහළට එමින් 34 වැනි තැනට පත්ව ඇති අතර ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට නායකත්වය දුන් තිසර පෙරේරා (58) ස්ථාන 5කින්ද, ඇන්ජලෝ මැතිව්ස් (65) ස්ථාන 4කින්ද පහළට වැටී තිබේ. මේ තරගාවලියේදී ඔවුන් දෙදෙනා රැස්කර ඇත්තේ පිළිවෙළින් ඉනිම 3කදී ලකුණු 14ක් හා ඉනිම 2කදී එක් ලකුණක් පමණි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ස්ථාන 3ක් ඉදිරියට ඒමට සමත්ව ඇත.
මේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියාවූ ඉන්දීය පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් ස්ථාන 14ක් ඉදිරියට එමින් 16 වැනි තැන අත්කර ගැනීමට සමත්ව සිටී. ඔහු ඉනිම දෙකකදී කඩුලු 8ක් දවාගත් අතර කඩුලු 6ක් දවාගත් හර්දික් පාණ්ඩ්‍යා (39) ස්ථාන 40ක් ඉදිරියට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යවන්නන්ගෙන් ඇන්ජලෝ මැතිව්ස් (68) එක් ස්ථානයකින්ද, තිසර පෙරේරා (70) ස්ථාන දෙකකින්ද ඉදිරියට පැමිණ තිබේ.
නිරෝෂාන් ප්‍රියංකර
0 Comments