Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මීටර් 800 බලාපොරොත්තු බිඳ වැටේ

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ගයන්තිකා හයට ඉඳුනිල් අටට

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උ‍ළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තු මලල ක්‍රීඩා ඉසව්වක් වූ මීටර් 800 පිරිමි හා කාන්තා ඉසව්වලින් එම බලාපොරොත්තු බිඳ වැටෙමින් ශ්‍රී ලංකාවට පිළිවෙළින් 8වැනි සහ 6වැනි ස්ථානවලින් සෑහීමට සිදුවිය.

මීටර් 800 පිරිමි ඉසවේ අවසන් තරගයට එක්වූ ඉඳුනිල් හේරත් විනාඩි 1යි තත්පර 51.36කින් තරගය නිම කරමින් ක්‍රීඩකයන් අට දෙනකු අතුරින් 8වැනියා බවට පත්විය.

පෙරේදා මීටර් 800 පිරිමි මූලික වටයේ පළමු තරගයේදී විනාඩි 1:47.54කින් තරගය අවසන් කරමින් අවසන් තරගයට පිවිසි ඉඳුනිල්ට එම කාලය අබිබවා යෑමටද නොහැකි විය.

එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් ඉන්දියාව සතුවූ අතර ලෝකඩ පදක්කම කටාරයට හිමිවිය. විනාඩි 1:46.15කින් තරගය නිමකල මන්ජීත් සිං රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම ජින්සන් ජොන්සන්ට (වි. 1:46.35) හිමිවිය. අබුබකර් අබ්දැල්ලා ලෝකඩ පදක්කම දිනා ගත්තේ විනාඩි 1:46.36කින් තරගය නිම කරමිනි.

ඊයේ රාත්‍රියේ මීටර් 800 කාන්තා අවසන් තරගයට එක්වූ ගයන්තිකා අබේරත්නට 6 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවූවාය.

ඇය මූලික වටයේදී විනාඩි 2:06.31කින් තරගය නිමකරමින් අවසන් තරගයට පිවිසියද එහිදී වාර්තා කළ හැකිවූයේ විනාඩි 2යි තත්පර 05.50ක කාලයකි.

ඇය 2014 දකුණු කොරියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 අවසන් තරගයටද සුදුසුකම් ලැබූ අතර විනාඩි 2:06.21ක් වාර්තා කරමින් 7 වැනි ස්ථානයට පත්විය. එම තරගාවලියේ මූලික ඇය විනාඩි 2:04.41ක කාලයක් වාර්තා කර තිබිණි.

එම ඉසව්වේ රන් පදක්කම විනාඩි 2:01.80කින් තරගය නිමකළ චීනයේ චුන්යු වෑන්ග් දිනාගත් අතර රිදී පදක්කම කසකස්තානයේ මාගරිටා මුකෂෙවාටත් (වි.2:02.40), ලෝකඩ පදක්කම බහරේනයේ මනාල් එල්බහරොයි (වි.2:02.69) හිමිවූහ.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වේ මූලික වටයේ සිවුවැනි තරගයට එක්වූ රුමේෂිකා රත්නායක තෙවැනි ස්ථානය අත්කර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියද එම වටයේදී 6 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඇය අර්ධ අවසන් වටයේදී තත්පර 24.50ක කාලයක් වාර්තා කළේය.

ඊයේ පෙරවරුවේ පැවැති මූලික වටයේදී තත්පර 23.79ක කාලයක් වාර්තා කරමින් රුමේෂිකා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ක්‍රීඩිකාවන් 18 දෙනකු අතරින් 9 වැනි ස්ථානයට පත්වෙමිනි.

ශ්‍රී ලංකා මීටර් 400 සහාය දිවිමේ කණ්ඩායම අද (29) මූලික වටයේ තරගයට එක්වෙයි. එම කණ්ඩායමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු ලක්ෂාන් කොඩිකාර, අජිත් ප්‍රේමකුමාර සහ දිලිප් රුවන් ඇතුළත් වෙති.

මේ අතර හොකී ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ ඉන්දියාව සමගින් ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගයට එක්විය.

එම තරගයේ ඉන්දියාවට ගෝල් 20-0ක ජයක් අත්විය. තරගයේ පළමු කාර්තුවේදී 4-0කින් පෙරමුණ ගත් ඉන්දියාව දෙවැනි කාර්තුවේදී තවත් ගෝල් 3ක් එක්කර ගත්තේය. තෙවැනි හා සිවුවැනි කාර්තුවලදී පිළිවෙළින් ගෝල් 7 හා 6ක් එක්කර ගනිමින් ඉන්දියාව ජය වාර්තා කළේය. මේ ජය හේතුවෙන් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්වූයේ සහභාගිවූ තරග 5ම ජය ගනිමිනි. මෙවර තරගාවලියේ ඉන්දියාව ප්‍රතිවාදීන්ට එරෙහිව වාර්තා කළ වැඩිම ගෝල් සංඛ්‍යාව මෙය වූ අතර ශ්‍රී ලංකා පිලට ගෝල් ලබාගැනීමට නොහැකිවූ තෙවැනි අවස්ථාව විය.

මේ සමගින් කණ්ඩායම් 6ක් එක්වූ ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි ස්ථානයට පත්විය. මේ හේතුවෙන් ස්ථාන සොයා ගැනීම සඳහා 30 වැනිදා සිට ආරම්භවන තරගාවලිය ශ්‍රී ලංකාවට එක්වීමට සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේදී සත්කාරක ඉන්දුනීසියාව ගෝල් 3-1කින්ද, හොංකොං පිල 4-1කින්ද පරාජය කළහ. ශ්‍රී ලංකාව හමුවේ හොංකොං පිලේ පරාජය වසර 40කට පසු සිදුවීම කැපී පෙනුණි.දහඅට වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය වනවිට නව ලෝක වාර්තා 5ක් සහ එක් ලෝක වාර්තාවක් සම කිරීමටත්, නව ආසියානු වාර්තාවක් 5ක් පිහිටුවීමටත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති. ඉන් ලෝක වාර්තා 2ක් දුනුවීදිමේ ඉසව්වෙන් දකුණු කොරියාව පිහිටුවා ඇති අතර පිහිනුම් ඉසව්වේදී චීනයෙන් සහ බර ඉසිලීමේ ඉසව්වෙන් අයර්ලන්තය මේ නව ලෝක වාර්තා බිහි කළේය. වෙඩි තැබීමේ ඉසව්වෙන් සුදුසුකම් ලැබීමේ වටයේදී චීන තායිපේ ක්‍රීඩකයෝ ලෝක වාර්තාවක් බිහිකරීමටත් එක් වාර්තාවක් සම කිරීමටත් සමත්වූහ. දකුණු කොරියාව පාපැදි ඉසව්වෙනුත්, ඉරානය බර ඉසිලීමේ ඉසව්වෙනුත් නව ආසියානු වාර්තා පිහිටවූ අතර චීනය පිහිනුම් ඉසව්වෙන් අනෙක් ආසියානු වාර්තා පිහිටුවිය.

දහඅට වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය වනවිට රටවල් 36ක් කුමන හෝ පදක්කම් දිනා තිබූ අතර ශ්‍රී ලංකාව සමගින් රටවල් මේ වනතෙක් කිසිදු පදක්කමක් හිමිවී නැත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();