Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියාවෙන් එකට එන්න නෙට්බෝල් පිලේ වෑයමක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල අද සිංගප්පූරුව බලා පිටත් වෙයි. ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායකත්වයට චතුරාංගනී ජයසූරිය හා උප නායකත්වයට දර්ශිකා අඹේවික්‍රම නම් කොට ඇත. ආසියානු නෙට්බෝල් ශූරතාවලිය 1985 සිට මේ දක්වා දස වතාවක් පවත්වා ඇති අතර එයින් සිවුවතාවක් ශූරතාව ශ්‍රී ලංකාව සතුකරගෙන ඇත. 1989, 1997, 2001 හා 2009 වසර වලදී ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ඇති අතර 2012, 2014 හා 2016දී පිට පිට අවසන් මහා තරගයේදී පරාජයට පත්වී අනු ශූරියන් බවට පත් විය.

අවසන් වරට 2016දී තායිලන්තයේ පැවැති ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තායිලන්තය ඉදිරියේ පරාජයට පත්වූ අතර එහිදී නායකත්වය දැරූ ගයනී දිසානායක ඇතුලු අතු දැකීම් බහුල පළපුරුදු ක්‍රීඩිකාවෝ රැසක් මෙවර ශ්‍රී ලංකා පිලට ඇතුලත්ව සිටීම වාසි සහගත තත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස තිලකා ජිනදාස මෙනවිය කටයුතු කරන අතර ශ්‍රී ලංකා පිල පෙරැළිකාර ජයග්‍රහණයක් මෙවර අත්කර ගනු ඇතැයි බලාපොරොත්තු පළ කර සිටින්නීය. “ අපේ කණ්ඩායම ඉතා හොදින් පුහුණුවීම්කර තිබෙනවා. වසර ගනනාවක් ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල කණ්ඩායමක් නිසා අපට මේ තරගාවලියේ වැඩි වාසි අත්කරගත හැකියි. කෙසේ වුවත් වත්මන් ශූර මැලේසියාව හා සිංගප්පූරුව සුළුකොට සැලකිය යුතු නෑ. තරගාවලියට අවතීර්ණ වූ පසු අපේ රිද්මය ඉතා හොදින් තබා ගැනීම වැදගත්. ප්‍රතිවාදීන් අනුව තරගයෙන් තරගයට අපේ සැලසුම් සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ආසියානු නෙට්බෝල් ශූරතාව සමග නැවැත අපේ රටට කීර්තියක් ගෙන ඒමට සියලු උත්සහයන් දරනවා“ තිලකා ජිනදාස මෙනවිය පැවැසුවාය.

ශ්‍රී ලංකා නෙට්බෝල් පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනවියට අමතරව සහය පුහුණුකාරිනියක් පත්කිරීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය කටයුතුකර නොමැතිවීම මෙවර ඇති විශේෂත්වයකි. ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ලබන සැප්තැම්බර් 1වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරු ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර චීන තායිපේ සමග පළමු තරගයට 1වැනිදා මුහුණ දේ.සැප්තැම්බර් 2වැනිදා ඉන්දියාව සමග ශ්‍රී ලංකා පිල තරගවදී. අනතුරුව දෙවැනි වටයේ තරග සැප්තැම්බර් 4වැනිදා සිට පැවැත්වෙන අතර අවසන් තරගය සැප්තැම්බර් 9වැනිදා පැවැත්වීමට නියමිතය.

ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල මෙසේය:

චතුරාංගනී ජයසූරිය (නායිකා), දර්ශිකා අඹේවික්‍රම (උප නායිකාව), තර්ජනී සිවලිංගම්, ගයනී දිසානායක, සුරේඛා කුමාරී, තිළිණි වත්තේගෙදර, ගයාංජලී අමරවංශ, නවුජලී රාජපක්ෂ, දුලාංගී වන්නිතිලක, දුලාංගී ධනංජී, හසිතා මෙන්ඩිස්, ඒලියන්තිනී සේතුකාවලන් අතිරේක - රුවිනි යටිගම්මන, ශ්‍යාමලී රත්නායක, රෙසුරී විජේසුන්දර

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();