ෆවුස් මොහොමඩ් දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...
දකුණු අප්‍රිකානු පිලේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් විසින් යවනු ලබන පළමු ඕවර දහය ඇතුළත කඩුලු රැක ගැනීමේ අභියෝගය ජයගැනීමට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අසමත්වීමෙන් දෙපිල අතර පෙරේදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු එක්දින තරගය පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමරවීර මහතා කියා සිටියේ පළමු ඕවර දහයෙන් පසුව අත්දැකීම් රහිත පන්දු යවන්නන් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුවට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් එකතු කිරීමට අවස්ථාව ඇති බවය.
‘අවාසනාවන්ත විදිහට මුල් ඕවර දහයේදි අපේ කඩුලු 5ක්ම බිඳ වැටුණා. අපි ලකුණු 280ක් විතර රැස් කළා නම් හොඳයි කියලා හිතුණා. මොකද අපිට හොඳ දඟපන්දු යවන්නන් තුන්දෙනෙක්ම හිටියා. ඒත් ලකුණු 36ක් වෙද්දී කඩුලු 5ක්ම දැවී ගියාට පස්සේ එවැනි තරගයක් ජයගැනීම හරිම අසීරුයි.’ ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවරයේදි පුල් ටෝස් පන්දුවකට නිරෝෂන් දික්වැල්ල දැවීයාමේ සිට අනික් පිතිකරුවන් සිවුදෙනාම ඉතා දුර්වල පහරවල්වලින් කඩුලු පූජා කළ බව ඔහු කිවේය.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා එක්ව බිඳ වැටීම පිළිසකර කළත් එය ප්‍රමාණවත් නොවීය.
‘තිසර පෙරේරා පසුගිය මාස 6 ඇතුළත සෑහෙන දියුණුවක් පෙන්නුම් කළා. මම ඔහුට උපරිම නිදහසක් ලබා දී තිබෙනවා. ඔහුගේ පිතිහරඹ දස්කම් ඉස්මතුවීම සතුටක්. 2019 ලෝක කුසලාන තරගමාලාවට ඔහුගේ දායකත්වය කෙතරම් වැදගත්ද කියලා අපි ඔහුට අවබෝධ කර දුන්නා.’ තිලාන් සමරවීර කියා සිටියේය.
0 Comments