හැම දෙයක්ම අපට ඉබේටම ලැබෙන්නේ නෑ. සමහර දේවල් ලබාගන්න සෑහෙන්න සටන් කරන්න සිද්ධ වෙනවා.’
ස්මිත්‍රි මන්දනා එසේ කියන්නේ ක්‍රිකට් ජිවිතයේ බොහෝ දේවල් ලබා ගැනීමට ඇයට දැඩි සටනක නිරතවීමට සිදුවූ බැවිනි. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකාරිනිය ලෙස කාගෙත් ආදරයට පාත්‍රවී සිටින මේ රූමත් යුවතිය 22 වැනි වියට පා තැබුවේ ඊයේ පෙරේදාය. දස්කම් අතින් බැලූවිට නම් ඇය වයසට වඩා හැකියාවෙන් ඔබ්බට ගොස් සිටී.
පසුගිය මාසයේ එංගලන්තයේ පළමුපෙළ කාන්තා විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකරගත් ඇය එවැනි වාසනාවක් අත්කරගත් පළමු ඉන්දියානු ක්‍රීඩිකාව ද වන්නීය.
ඒ වාසනාව තුරුළු කරගෙන එංගලන්තයට ගිය මන්දනා පෙරේදා විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලිය උඩුයටිකුරු කරවීමට සමත්වූයේ පන්දු 18කින් අර්ධ ශතකයක් රැස් කරමිනි. ලන්ඩනයේ වෙස්ටන් ස්ටෝම් කණ්ඩායම නියෝජනය කරමින් පෙරේදා ඇය ලෝබොරෝ ලයිට්නින් පිලට එරෙහිව මේ දස්කම පෑවේ කාන්තා විස්සයි20 තරග බිමේ වේගවත්ම අර්ධ ශතකය රැස් කිරීමේ සම වාර්තාවට හිමිකම් කියමිනි.
වර්ෂාව නිසා එක් පිලකට ඕවර 6 බැගින් සීමා වූ මේ තරගයේ දී වේගවත් ඉනිමක නිරතවෙමින් ඇය සමකළේ මීට පෙර නවසීලන්තයේ සොෆී ඩිවේන් මීට වසර 13කට පෙර ඉන්දියාවටම එරෙහිව පන්දු 18කින් අර්ධ ශතකයක් රැස් කරමින් තැබූ වාර්තාවය.
හයේ පහර 4කුත්, හතරේ පහර 5කුත් සමග ඇය නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52කි. වෙස්ටන් ස්ටෝම් කණ්ඩායම ලැබූ මුලු ලකුණු සංඛ්‍යාවම කඩුලු 2කට 85කි.
මුම්බායි නුවරින් ක්‍රිකට් පිටියට පිවිසි මේ හැඩකාර යුවතිය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අවුරුදු 15න් පහළ කාන්තා ක්‍රිකට් පිලට එක්වෙද්දී යන්තම් අවුරුදු 9ක් වූවා පමණි. වමතින් පිත්ත හසුරුවන, දකුණතින් මඳවේග පන්දු යවන ඇගේ දස්කම් නිසා 19න් පහළ කාන්තා පිලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවූයේ අවුරුදු 11දීය.
ඊට වසර කිහිපයකට පසුව 2013 ඉන්දීය දේශීය කාන්තා එක්දින තරගබිමේ ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තාපොතට එක්වූ මේ හුරුබුහුටි ක්‍රීඩිකාව ඉන්දියාවේ ජාතික කාන්තා ක්‍රිකට් පිලේ දොරටුවට තට්ටු කරන්නට පටන් ගත්තාය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත පිල වෙනුවෙන් ඇ ය මේ දස්කම පෑවේ ගුජරාට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිවය. අවුරුදු 19න් පහළ තරගයක් වූ එහිදී ඇය ලකුණු 224ක් වාර්තා කළේ පන්දු 150කින්ය.
ඊළඟ වසරේ දී ඉන්දීය පිලට එක්වීමේ වරම් ලැබූ ඇය එංගලන්ත පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ අගනා අර්ධ ශතකයක් ලැබුවාය. මන්දනා ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ 2016දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති සිය දෙවැනි එක්දින තරගයේදීම අගනා ශතකයක් වාර්තා කිරීමත් සමගය.
ඒ වසරේදීම ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමට ඇතුළත් කරගත්තේ එවැනි ගෞරවයක් අත්කරගත් පළමු ඉන්දීය ක්‍රීඩිකාව වූවාය.
පසුගිය වසරේදි එංගලන්තයේ පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට එක්වීමට ඉන්දිය පිලට ආරම්භක පිතිකාරිනිය මන්දනාගේ දායකත්වය නොඅඩුව ලැබිණි. එහෙත් අවසන් තරගයේදී ඉන්දීය පිල ලකුණු 9කින් එංගලන්තය හමුවේ පරාජයට පත්වූ අතර ඇය දැවී ගියේ ලකුණු නොලබාමය. එය ගැන අදටත් ඇගේ ක්‍රිකට් ජීවිතයේ කනගාටුදායක සිදුවීමකි.
සරළ බව, අවංකකම හා විනයගරුක බව ජීවිතයට ආලෝකයක් උදාකර ගත් මේ දිරිය සම්පන්න ක්‍රීඩිකාව නිතර නිතර කතා කරන්නේ සිය ක්‍රිකට් ජීවිතයේ අසහාය වීරයන් දෙදෙනකු ගැනය.
‘සචින්, සංගා කියන්නේ මගේ ක්‍රිකට් ජීවිතයේ වැඩිපුරම ආදරය කරන වීරයෝ දෙන්නෙක්. මං පොඩි කාලේ ඉඳලම සංගාගේ වීඩියෝ බලල මගේ පහරවල් දියුණු කරගත්තා.’
අවුරුදු 22 වැනි ළාබල වියේදී ජාතික කණ්ඩායම ලොකු වගකීමක් කරපින්නා ගැනීමට සිදුවීම ගැන බොහෝ අය විවිධ මත පළ කළත් ඇය කියන්නේ වෙනම කතාවකි.
‘මං හිතන්නේ නෑ පොඩි වයසකදී වගකීම් පැවැරුණා කියලා ඒක පීඩනයක් වේවි කියලා. වගකීම් තමයි ක්‍රීඩකයන් විශිෂ්ටත්වයට පත්කරවන්නේ. මම මහාරාෂ්ට්‍ර පිලේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නායකත්වයට පත්වෙද්දි අවුරුදු 16ක් හරි 17ක් හරි වෙන්න ඇති. ඒත් මං දැනගෙන හිටියා කණ්ඩායම ඉස්සරහාට ගෙනියන්න ඕන කොහොමද කියලා.’
මන්දනාට ඇත්තේ සාමාන්‍ය යුවතියන්ට වඩා වෙනස් ආකල්පය. ඇයට ලොකු සිහින නැත. තිබුණත් ඒවා ඇත්තේ ඉන්දිය පිලේ අරමුණු හා බලාපොරොත්තුවලට වඩා පහළින්ය. ජීවිතය ගැන විශාල බලාපොරොත්තු, විවාහය, කඩවසම් තරුණයකුගේ උණුසුම් ආදරය ඒවා දෙවැනි තැනටය. ඇගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ක්‍රිකට්ය. ඊළඟට මව, පියා සහ සෙවණැල්ල මෙන් ඇයට සමීපව සිටින වැඩිමල් සොයුරාය.
මන්දනාගේ ක්‍රිකට් දිවිය ඔප මට්ටම් වූයේ ඇගේ මාපියන්ගේ දිරියෙනි. ඇය ගුජරාටියේ මර්වාරි පරපුරකින් පැවැත එන යුවතියකි. මර්වාරි යුවතියක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම දුර්ලභ සිදුවීමකි. මන්දනා ක්‍රීඩාවට යොමුවීම නිසා ඥාතීන් වැඩිදෙනකු ඇගේ මාපියන්ට දොස් පවරන්නට වූහ. ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ නම් මන්දනාට මනාලයකු සොයාගැනීමත් අසීරු වනු ඇතැයි වැඩිහිටි මර්වාරි ගැහැනුන් කියන්නට වූහ. නමුත් මන්දනා ඒවා කණකට ගත්තේ නැත. ඇයට නිරතුරුවම දිරිය දුන්නේ ඇගේ මවය. මන්දනාගේ ක්‍රීඩා දිවිය ඉන් ශක්තිමත් විය. ඇරත් ඇය දුටුවේ සෙසු මර්වාරි යුවතියන් දකින සිහින නොවීය.
‘ජිවිතය ගැන ලොකු ඉලක්ක මට නෑ. මම ක්‍රීඩා කරන කාලයේදීම ඉන්දියාව කාන්තා ලෝක කුසලානයක් දිනාගැනීම ලොකුම ඉලක්කයයි. සාමාන්‍ය විදිහට ගත්තොත් මම ඉලක්ක තියාගෙන ඒ අනුව වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉලක්කවලට වැඩ කරන්න ගියොත් ඒවා ගොඩාක් වෙලාවට ඉෂ්ඨ වෙන්නේ නෑ. අනික ඉලක්ක කියන්නේ ලෙහෙසියෙන් ජයගන්න පුළුවන් ඒවාත් නෙවෙයි. එහෙම වෙනවානම් මිනිස්සු නිතරම ඉලක්ක කරා යන්න එපෑය.’
ඇය බොහොම සරළ කෙල්ලෙකි. පවුලේ බඩපිස්සීය. ඇය කියන්නේ තම පවුලේ හදවත ඇය බවය. කණ්ඩායමේ සිටියදි ඇය තරමක් නිශ්ශබ්දය. නිවසේදී නම් ඇය සමග වාද කර දිනන්නට කිසිවකුට බැරිය.
සටහන - ෆවුස් මොහොමඩ්
0 Comments