Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජිම්නාස්ටික් නිලවරණය දින නියමයක් නැතිව කල්යයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය දින නියමයක් නැතිව කල් දැමීමට ඊයේ තීරණය වෙයි. ජිම්නාස්ටික් සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ කිහිපයක් සාමාජික මුදල් නොගෙවීමෙන් සාමාජිකත්වය අහෝසිවූ බවට ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට සිදුවීම නිලවරණය කල්දැමීමට හේතුවී තිබේ.

ජිම්නාස්ටින් නිලවරණය මේ මස 22වැනිදා පැවැත්වීමට දින නියම කොට තිබූ අතර නාම යෝජනා භාරගැනීම ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණි. එහෙත් ක්‍රීඩා සමාජ කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශයට කළ පැමිණිල්ලක් අනුව නැවැත ජිම්නාස්ටික් සාමාජික සංගම් කැඳවා නිලවරණය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ මස 6වැනිදා සියලු සාමාජික සංගම් ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තීරණය ප්‍රකාශ කරනතුරු ජිම්නාස්ටික් නිලවරණය තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෙයට පෙර ජිම්නාස්ටික් සම්මේලනයේ සාමාජික ක්‍රීඩා සමාජවල වාර්ෂික සාමාජික මුදල රුපියල් 5000ක් දක්වා ඉහළ දැමූ අතර නියමිත පරිදි මුදල් නොගෙවන සංගම්වලට දඩ මුදලක් ද නියම කොට තිබුණි. එම මුදල් සංශෝධනයත් සමග සාමාජික මුදල් ගෙවීම අඩුවූ බව ජිම්නාස්ටික් සංගමයේ ප්‍රකාශකයෙක් ‘දිනමිණ‘ට පැවැසීය. කෙසේ වුවද ඡන්ද බලය අහිමිවන ක්‍රීඩා සංගම් වෙත සමා කාලයක් ප්‍රදානය කොට නිලවරණයේ ඡන්ද අයිතිය ලබාදීමට එකඟතාවක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසයවී තිබේ. ජිම්නාස්ටික් සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ 31ක් ඇති අතර එයින් සංගම් කිහිපයකට ඡන්ද අයිතිය අහිමිවී ඇත.

ජිම්නාස්ටික් නිලවරණය මෙහෙයවීමේ නිලවරණ කමිටුවට ශීලා ද සේරම්, සුභානී උඩවත්ත, අජිත් රැද්‍රිගූ, සෞම්‍ය කලුආරච්චි හා අජිත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීහු පත්කර ඇත.

පසුගිය කාලය පුරා ජිම්නාස්ටික් පරිපාලනයේ විවිධ ප්‍රශ්න මතුවූ අතර ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි ගණනාවක් ලැබී තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය. සභාපතිවරයාගේ පුත්‍රයා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ඇති හෙයින් ක්‍රීඩා රෙගුලාසිවලට අනුව සභාපති ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බව ක්‍රීඩා අමාත්‍යාංශය හිටපු සභාපතිවරයාට දැනුම්දීමක් ද කර තිබුණි. අනතුරුව නව සභාපතිවරයෙකු පත්කර ගැනීමට ජිම්නාස්ටික් සංගමය කටයුතු කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();