ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ආරාධනාවක් අනුව සුහද ජාත්‍යන්තර පාපන්දු තරග දෙකක් සඳහා ලිතුවේනියා පාපන්දු කණ්ඩායම මේ මස 6 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙයි. වසර 2012දී බංග්ලාදේශය හා මාලදිවයින සමග නාවලපිටියේදී පැවැති තරගාවලියෙන් පසුව විදෙස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වේ.
ඒ අනුව වසර 6කට පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ලිතුවේනියා පාපන්දු කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා ලෝලීන්ගේ විශාල ආකර්ශනයක් ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතා පැවැසීය.
ලිතුවේනියාව හා ශ්‍රී ලංකා පළමු පෙළ කණ්ඩායම අතර තරගය මේ මස 8 වැනිදා පැවැත්වෙන අතර 10 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය සමග තවත් පාපන්දු තරගයක් සංවිධාන කොට ඇත. මේ පාපන්දු තරග දෙකම රීඩ් මාවත පැරණි තුරඟ තරග පිටියේදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇත.
ලිතුවේනියා පාපන්දු කණ්ඩායමට එරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු මෙන්ම දෙවැනි පෙළ ක්‍රීඩකයන් කිහිප දෙනකු ද සහිතව මිශ්‍ර කණ්ඩායමක් ඇතුළත්ය. ලිතුවේනියා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 106 වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක මට්ටමේ 200වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකා පාපන්දු පිල සැප්තැම්බර් මාසයේ බංග්ලාදේශයේදී සහභාගීවන දකුණු ආසියා පාපන්දු තරගාවලියට පෙරහුරු තරගයක් ලෙස ලිතුවේනියාව සමග තරගය සංවිධාන කොට ඇත.

0 Comments