ශ්‍රී ලංකාවෙන් දැඩි විරෝධය
පන්දුව පළුදු කළ බවට නැගුනු චෝදනාවට ශ්‍රී ලංකා කණ්ඩායම විරෝධය පෑම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සාන්ත ලුසියා දූපතේ ග්‍රොස් අයිලට්හි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පෙරේදා තෙවැනි දින තරග ආරම්භය පැය දෙකකින් ප්‍රමාද විය.
දෙවැනි දින තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කළේ යැයි චෝදනා කරමින් ඉයන් ගූල්ඩ් (එංගලන්තය) හා අලීම් ඩාර් (පාකිස්තානය) යන පිටියේ තරග විනිසුරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු පහක දඩයක් පැනවූ අතර එය කොදෙව් මුළු ලකුණු සංඛ්‍යාවට එකතු කෙරිණි. මීට අමතරව තෙවැනි දින තරගය සඳහා වෙනත් පන්දුවක් යොදා ගැනීමටද විනිසුරුවන් තීරණය කර තිබිණි.
පන්දුව පළුදු කළ බවට නැගුනු චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර සිටියේය.
දෙවැනි දින තරගයට විටින් විට වර්ෂාව බාධා කිරීම හේතුවෙන් පෙරේදා තෙවැනි දින තරගය ආරම්භ වීමට නියමිතව තිබුනේ පැය භාගයකට කලින් පෙරවරු 9.30 ට ය. එහෙත් තරග විනිසුරුවන් හා කොදෙව් පිතිකරු යුගලය පිටියට පිවිසියද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පැමිණියේ නැත. නායක දිනේෂ් චන්දිමාල්, කළමනාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ තරග තීරක ජවගල් ශ්‍රීනාත් සමග සාකච්ඡාවක යෙදී සිටින අයුරු රූපවාහිනියේ දිස්විනි.
අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෙරවරු 10.50 ට පිටියට පිවිසියද එක පන්දුවක් හෝ යැවීමට පෙර ආපසු හැරී ගොස් හතරේ සීමාව අසල පිටිය ඇතුළත රැඳී සිටියහ. ඒ අවස්ථාවේදී කණ්ඩායමේ කළමනාකරු හා පුහුණුකරු ක්‍රීඩකයන් සමග සාකච්ඡා කරන අයුරු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආපසු හැරී ගියේ පෙර දින තරගය නතර කරන විට තිබූ 118ක කොදෙව් මුළු ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 5ක් එකතු කර එය 123ක් ලෙසින් ලකුණු පුවරුවේ දිස්වීම පිළිබඳව විරෝධය දක්වමිනි.
වෙනත් පන්දුවක් තෝරා ගැනීමේ අයිතිය පැවරී තිබුණු, පෙර දින ක්‍රීඩාවේ නොදැවුනු පිතිකරුවන් වූ ඩෙවොන් ස්මිත් හා ෂායි හෝප් විසින් තෝරා ගත් පන්දුවේ තත්ත්වයටද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අකමැත්ත පළ කළහ.
පිටියේ සිටි නිලධාරියෙකුට අනුව තරග විනිසුරුවන් පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් “සැක කරන” බවට පෙරේදා තරග ආරම්භයට පෙර වාර්තා විය. “පන්දුව පළුදු කිරීමක් ගැන තරග විනිසුරුවන් සැක කරනවා. ශ්‍රී ලංකාව දෙසට ඇඟිල්ල දික් නොකර වෙනත් පන්දුවක් ක්‍රීඩාවට යොදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වී තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරිත්වය ඊට එරෙහිව විරෝධය දක්වනවා.”
තෙවැනි දින තරගය සඳහා වෙනත් පන්දුවක් යොදා ගන්නා බවට තරග විනිසුරුවන් විසින් ශ්‍රී ලංකාවට දන්වනු ලැබුවේ තරග ආරම්භයට මිනිත්තු දහයක් පමණක් තිබියදී වීම ශ්‍රී ලංකාව පිටියට නොපැමිණීමට එක් ප්‍රධාන හේතුවක් වූ බවද එම නිලධාරියා කියා සිටියේය.
දෙවැනි දින තරගය අවසන් වීමෙන් පසුව පන්දුවේ තත්ත්වය පිළිබඳව තරග විනිසුරුවන්ගේ අවධානය යොමුව තිබූ බවට දැන ගන්නට තිබේ. “විනිසුරුවන් කිහිප වතාවක්ම පන්දුව දෙස බලන අයුරු අප දුටුවා. නමුත් දිනය අවසානයේ ඒ පිළිබඳ කිසිම නිවේදනයක් නිකුත් කෙරුනේ නැහැ” යැයි එම නිලධාරියා පවසා සිටියේය. මතභේදය හටගෙන මේ සියල්ල සිදුවූයේ තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා උදෑසන ය.
සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ මෙහි සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය, ක්‍රීඩකයන් කිසිම වැරැද්දක් නොකළ බව දන්වා සිටියේය.
ඒ අනුව, තරගය දිගටම පවත්වා ගෙන යාම පිණිස පිටියට යන ලෙසට කණ්ඩායමට උපදෙස් දුන් ක්‍රිකට් ආයතනය, විනිසුරුවන්ගේ තීරණයට විරෝධය ප්‍රකාශ කරමින්, ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීම සඳහා දිගටම ක්‍රීඩා කිරීමට කණ්ඩායම ගත් තීරණයට ප්‍රශංසාව පුදකර සිටියේය.
කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට එරෙහිව සාධාරණ නොවූ චෝදනාවක් ගෙන එන අවස්ථාවක ඕනෑම ක්‍රීඩකයෙකු ආරක්ෂා කිරීමට අවශ්‍ය සියළු පියවර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය විසින් ගනු ලබන බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා, ක්‍රිකට් ආයතනයේ නිසි බළධාරී කමල් පද්මසිරි, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානී චන්දිම මාපටුන යන මහත්වරු විසින් කණ්ඩායමේ කළමනාකාරිත්වයට දැනුම් දුන්නේය.
පෙරවරු 11.30 ට පෙරේදා තරගය ආරම්භ වූ අවස්ථාවේදී ලහිරු කුමාර වේග පන්දු යවන්නා ඩෙවොන් ස්මිත් පිතිකරුවාට පිට පිට බවුන්සර් පන්දු තුනක් යැවීම හේතුවෙන් තෙවැනි පන්දුව නීති විරෝධී (no ball) එකක් ලෙසින් තීරණය කෙරිණි. මීට අමතරව ඔහුට අවවාදයක්ද කෙරිණි. කුමාර මේ ආකාරයෙන් පන්දු යවද්දී නරඹන්නන් ‘හූ’ කියන්නට වූහ. වාසනාවට වැඩි පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටියේ නැත. කොදෙව් මහ සෙනඟක් තරගය නැරඹීම සඳහා පැමිණ සිටියා නම් තරගය ආරම්භ වීමේ ප්‍රමාදයට ඔවුන් කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්වාවිද යන්න සිතා ගත නොහැක.
විනිසුරු විසින් පන්දුව වෙනස් කිරීමෙන් පසුව පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළ මීට පෙර අවස්ථාව ලෙසින් වාර්තා වී තිබෙන්නේ 2006 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පාකිස්තානය හා එංගලන්තය අතර ටෙස්ට් තරගයයි. එහිදී ඩැරල් හෙයා තරග විනිසුරුවරයා පන්දුව වෙනස් කර පාකිස්තානයට දඩයක් ලෙසින් එංගලන්තයට ලකුණු 5ක් ලබා දුන් අතර ඊට විරෝධය දක්වමින් පාකිස්තාන කණ්ඩායම සිවු වැනි දින තරගයේ සවස තේ පානයෙන් පසුව නැවත පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කර සිටියේය. පාකිස්තානය තවදුරටත් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ට තරගය අහිමි වූ අතර තරගයේ ජය එංගලන්තයට පිරිනැමිණි.
---------------------------------------------------------------------------
චෝදනාවට විරෝධය පාමින් ශ්‍රී ලංකාව දිරිය සටනක
ශ්‍රී ලංකාව පන්දු පළුදු කළ බවට චෝදනා කරන ඉයන් ගූල්ඩ් පිටියේ තරග විනිසුරුවරයා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පළුදු කළ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගයේ රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසයි.
“ඔස්ට්‍රේලියානුවන් පන්දුව පළුදු කිරීමේ සිද්ධියෙන් පස්සේ තරග විනිසුරුවන් හැම ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිහාම බලන්නේ සැකයෙන්. ඒක වැරදියි. විනිසුරුවන් ක්‍රීඩකයන්ට මීට වඩා ගරු කළ යුතුයි” ගුරුසිංහ කියයි.
අසංක ගුරුසිංහ මෙසේ කියා සිටියේ ශ්‍රී ලංකාවට පන්දුව පළුදු කළ චෝදනාව එල්ල වූ බටහිර ඉන්දීය කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පෙරේදා තෙවැනි දින ක්‍රීඩාව අවසන් වීමෙන් පසුව ඔහු මුණගැසුණු අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිටියට ගොස් ආපසු පැමිණීම පිළිබඳව ගුරුසිංහ මෙසේ කියා සිටියේය.
“කොදෙව් ඉනිමට ලකුණු පහක් එකතු කිරීම නවත්තන්න බලන්නම් කියලා තෙවැනි තරග විනිසුරු ජවගල් ශ්‍රීනාත් අපට කීවා. අපේ ක්‍රීඩකයන් පිටියට ගියේ ඒ අනුවයි. නමුත් පිට්ටනියට ගියාට පස්සේ බලන කොට ඉයන් ගූල්ඩ්ගේ අණින් ලකුණු පහක් කොදෙව් ඉනිමට එකතු කර තිබෙන අයුරු ක්‍රීඩකයන් ලකුණු පුවරුවෙන් දැක්කා. ක්‍රීඩකයන් ආපසු පිටියෙන් ඉවතට ආවේ ඊට විරෝධය පෑමක් ලෙසිනුයි. ශ්‍රීනාත් ඉන්නේ පිටියෙන් ඉවත නිසා එයාටත් ඒ වෙලාවේ මොකුත්ම කරන්න බැරිවුණා.”
“චෝදනා පත්‍රය අපට ලබා දුන්නේ අද තරගය අවසන් වීමෙන් පසුවයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පන්දුවේ යමක් ගාලා තියෙනවා කියලා එහි සඳහන් වී තියෙනවා. අපි ඒ වීඩියෝ පථය බලන්න ඕන කියලා කිවුවා. ඒක අද රාත්‍රියේ අපට ලබා දෙන්නම් කියලා ඔවුන් කිවුවා.”
පන්දුව ඔප දැමිය හැක්කේ කටේ කෙළ, ඇඳුම, ලේන්සුව හා දහඩියෙන් පමණකි. නායක දිනේෂ් චන්දිමාල් අත කටේ දමා පන්දුව ඔප දමන විට ඔහුගේ කටේ තිබුණු යමක් පන්දුවේ ගෑවී ඇති බවට විනිසුරුවන් සැක පහළ කර තිබෙන බවක්ද දැන ගන්නට තිබේ. ඒ අනුව ‘චුවින්ගම්’ හෝ යමක් පන්දුවේ ගෑවී තිබුණා නම් එය පන්දුව පළුදු කිරීමට හසුවන වරදකි.
කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී අත තුවාළ කර ගත් ධනංජය ද සිල්වා ට දමා තිබෙන වෙළුම් පටයේ තිබෙන යම් දෙයක් පන්දුවේ ගෑවුනාද යන්න පිළිබඳවද විනිසුරුවන් පරීක්ෂා කර තිබේ.
“ශ්‍රී ලංකාව පන්දුවේ හැඩය වෙනස් කළ බවක් විනිසුරුවන් අපට දන්වා සිටියේ ක්‍රීඩාව ආරම්භ කිරීමට මිනිත්තු දහයක් තිබියදීයි. අපි පුදුමයට පත්වුනා. තරගයෙන් ඉවත් වීමේ තීරණය ළඟටම අපි ආවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් මත ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගන්න අපි ක්‍රීඩා කළා.”
“නමුත් අපේ කණ්ඩායම පිටියට ගියේ විනිසුරුවන්ගේ මේ තීරණයට විරෝධය ප්‍රකාශ කිරීමෙන් පසුවයි. අපි ක්‍රීඩා කරන්නේ ‘විරෝධය යටතේ’ බවට සඳහන් ලිපි දෙකක් මම තෙවැනි විනිසුරුටත්, අයි.සී.සී.යටත් (ජගත් ක්‍රිකට් කවුන්සලය) බාර දුන්නා.”
“මේ සිද්ධිය බොහෝ දුරක් යනවා” යැයි අසංක ගුරුසිංහ ධනාත්මක අයුරින් පවසා සිටියේය.

0 Comments