බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සාන්ත ලුසියා දූපතේ ‘ග්‍රොස් අයිලට්’හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ සිවු වැනි දිනයේ දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දැවී ලකුණු 136ක් රැස්කර ගෙන සිටියේය.
නායක දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් අධිෂ්ඨානයෙන් යුතුව පන්දුවට පහර දෙමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක් රැස්කර ගෙන සිටියහ. මෙන්ඩිස් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමග ලකුණු 53ක් රැස්කර ගෙන සිටි අතර මෙය ඔහුගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය. චන්දිමාල් පන්දු 82කට මුහුණ දෙමින් ලකුණු 27ක් ලබා ගෙන සිටියේය.
ෂැනන් ගේබ්‍රියල් ලකුණු 22කට කඩුලු 3ක් ලබා ගෙන සිටියේ ඔහු යැවූ ඕවර 12න් 5ක් නොඉඳුල් ඒවා ලෙස සටහන් කරමිණි.
ඊයේ පළමු ඕවරයෙන්ම කඩුල්ලක් ලබා ගැනීමට ෂැනන් ගේබ්‍රියල් සමත් විය. පෙරේදා සවස කුසල් ජනිත් පෙරේරා දැවී යාමෙන් පසුව කඩුල්ල ආරක්ෂා කිරීමට පැමිණි කසුන් රාජිත, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට ලකුණු ලබා ගෙන සිටියේ නැත. සිවුවැනි දින තරගයේ මිනිත්තු 43ක් ඇතුළත ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 3ක් බිඳ වැටෙමින් ධනංජය ද සිල්වා හා මහේල උඩවත්ත ද දැවී ගියහ. ධනංජයගේ කඩුල්ල ලබා ගත්තේද ගේබ්‍රියල් ය. පළමු ‘ස්ලිප්’හි ඩෙවොන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ලකුණු 3කට දැවී යන විට යැවෙමින් තිබුනේ ඊයේ සිවු වැනි ඕවරයයි. මුළු ලකුණු 44දී ඔහු දැවී යාමෙන් පසුව, කසුන් රාජිත මෙන්ම සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වෙමින් සිටින මහේල උඩවත්ත, කීමා රෝච්ගේ පන්දුවට ‘මිඩ් ඕෆ්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ඩිවෙන්ද්‍ර බිෂූ අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 19කට දැවී ගියේය. ඒ, ඉනිමේ 17 වැනි ඕවරයේදීය.
තිස් හතර වැනි ඕවරයේදී ගේබ්‍රියල්ගේ පන්දුව දිනේෂ් චන්දිමාල්ගේ (21) පිත්තේ අග ස්පර්ශ වී ‘ගලී’ පන්දු රකින්නාගේ දෑතට ගියේය. එහෙත් එය නීති විරෝධී (නෝ බෝල්) පන්දුවක් වූ බැවින් චන්දිමාල් දැවී යාමෙන් බේරිණි.
පෙරේදා තෙවැනි දින තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් කොදෙව් අග පෙළ කඩා බිඳ දැමූ අතර එදින තරගය අවසන් වන විට ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා පසුපසින් සිටියේ ලකුණු 13කින් පමණකි. මේ අනුව තරගය දෙපිලටම හොඳින් සමබරව තිබිණි.
ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 253 ට පිළිතුරු වශයෙන් කොදෙව් පළමු ඉනිම ලකුණු 300කට අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව තෙවැනි දින තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස්කර ගෙන සිටියේය. දැවී ගිය පිතිකරුවා වූයේ කුසල් ජනිත් පෙරේරා ය. පන්දු 23කට මුහුණ දුන් ඔහු හතරේ පහර 3ක්ද එල්ල කරමින් ලකුණු 20ක් ලබා ගත්තේය. කඩුල්ල ලබා ගත්තේ ෂැනන් ග්‍රේබ්‍රියල් ය.
පළමු දින දෙකේදී කොදෙව්වන්ට තරගය පාලනය කිරීමට ඉඩ දුන් ශ්‍රී ලංකාව දෙවැනි නව පන්දුවේ ඕවර 20යි පන්දු 3ක් ඇතුළත කොදෙව් අවසන් කඩුලු 6 ලකුණු 59කට බිඳ දැමුවේය. මේ කඩුලුවලින් තුනක් ම ලබා ගත්තේ කොදෙව් ක්‍රිකට් ප්‍රජාව තුළ ශක්තිමත් ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් සිටින ලහිරු කුමාර වේග පන්දු යවන්නා ය. ඉනිම අවසන් වන විට ඔහු ලකුණු 86කට කඩුලු 4ක් ලබා ගෙන සිටියේය. ඒ දිනයේදී කුමාර පන්දු යැවුවේ පැයට කිලෝ මීටර 149ක වේගයෙනි. සිය ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින කසුන් රාජිත ද පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 49කට කඩුලු 3ක් ලබා ගත්තේය.

0 Comments