නායක උපුල් තරංග රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය.
ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී ගාල්ල පිල හමුවේ තිසර පෙරේරා මෙහෙයවූ කොළඹ පිල ලකුණු 75කින් පරාජයට පත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 320ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය කොළඹ කණ්ඩායමට ඕවර 44.2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 245ක් පමණි.
කොළඹ පිළිතුරු ඉනිමේදි ෂෙහාන් ජයසූරිය පන්දු 40කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 51ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. කමිඳු මෙන්ඩිස් පන්දු 38කින් ලකුණු 41ක්‍, ඇන්ජලෝ පෙරේරා ලකුණු 40ක් රැස්කළද ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.
පන්දු යැවීමේදී නිෂාන් පීරිස් සහ මලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් දවාගත් අතර දසුන් ශානක කඩුලු 2ක බිඳ දැමීය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ උපුල් තරංග මේ තරගාවලියේ දෙවැනි ශතකය රැස්කරමින් ලකුණු 124ක් ඉනිමට එක් කළේය.
තරංගට අනිග සහයක් ලබාදුන් සධීර සමරවික්‍රම දෙවැනි කඩුල්ලට ලකුණු 125ක් සහ දසුන් ශානක සිවුවැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතා ගොඩනැගූහ.
පන්දු 122කින් ගොඩනැගුණු තරංගගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.
මුළු ලකුණු 50 දී පළමු කඩුල්ල ලෙස රමිත් රඹුක්වැල්ල (22) දැවී යෑමෙන් අනතුරුව තරංග සමග එක්වූ සධීර සමරවික්‍රම මුළු ලකුණු 175 දක්වා ඉදිරියට ගෙන ගිය අතර කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමත් සමග සධීරගේ ඉනිම නිමාවිය. පන්දු 71කට මුහුණදුන් ඔහු හතරේ පහර 4ක් සමගින් ලකුණු 62ක් රැස් කළේය.
ශානක ලකුණු 31ක් වාර්තා කළ අතර ඉනිම අග භාගයේ වේගවත් පිතිහරඹයක නිතරවූ චතුරංග ද සිල්වා පන්දු 16කින් ලකුණු 26ක් සහ භානුක රාජපක්ෂ පන්දු 19කින් ලකුණු 29ක් ඉනිමට එක් කළහ.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය.

ගාල්ල - 320/7යි. (ඕවර 50) උපුල් තරංග 124, සධීර සමරවික්‍රම 62
කොළඹ - 245යි. (ඕවර 44.2) ෂෙහාන් ජයසුරිය 51 (නිශාන් පීරිස් 57/3, මලින්ද පුෂ්පකුමාර 31/3, දසුන් ශානක 24/2)



Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර