Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු සහ බටහිර ආසියා රටවල් 14ක් එක්ව නව පාපන්දු සම්මේලනයක් පිහිටුවයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
සෞදි අරාබියේ ජේඩාහි පැවැති නව දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනයේ (SWAFF) පළමු රැස්වීම පැවැති අයුරු.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා හා බටහිර ආසියා පාපන්දු ක්‍රීඩා කරන රටවල් 14ක් රැස්වී ‘දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනය’ නමින් (SWAFF) නව කලාපීය පාපන්දු සම්මේලනයක් පිහිටුවා ගනියි. මේ නව ආයතනය නිල වශයෙන් ස්ථාපිත කිරීමේ පළමු රැස්වීම සෞදි අරාබියේ ජේඩාහි දී පැවැති අතර එයට ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, සවුදි අරාබිය, භූතානය, ඇෆ්ගනිස්තානය, බහරේන්, මාලදිවයින, යේමනය, ඕමාන්, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ඇතුළත් විය.

දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනය (SWAFF) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නව සාමාජික සංවිධානයක් වන අතර එය FIFA හා ආසියානු පාපන්දු සම්මේලනය සමග එක්ව කටයුතු කෙරේ.

දකුණු හා බටහිර පාපන්දු සම්මේලනවල ප්‍රධානීන්ගේ මේ එකමුතුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිලධාරියකුගේ නිරීක්ෂණයට ලකුවූ අතර, එහි වාර්තාවක් දැනටමත් ලෝක සම්මේලනයට යොමු කොට අනුමැතිය ලබා ඇත. මේ නව සංවිධානය මගින් කලාපයේ සිටින සියලු වයස්වල පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගුණාත්මකභාව වැඩිදියුණු කිරීම මූලික සැලසුම වේ.

පාපන්දු ක්‍රීඩා පහසුකම්, පාපන්දු ඇකඩමි හා තරග රටාවේ වැඩි දියුණුව වෙනුවෙන් වෙන වෙනම සැලසුම් නිර්මාණය කිරීම දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනයේ බලාපොරොත්තුව වේ. නව පාපන්දු තරග සහ වාණිජ වැඩසටහන් වලින් අරමුදල් උපයා පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සාමාජික රටවල් තුළ නව පාපන්දු සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අරමුණු සියල්ල ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සම්මේලනයේ අනු දැනුම මත එම සම්මේලනවල කාලසටහන්වලට අනුකූලව සිදු වේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් මේ වැඩපිළිවෙළ පිළිගෙන ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාපන්දු උප සභාපති අබ්දුල්ල අල්ජුනිබ් මහතා මාධ්‍ය වෙත පැවැසීය.

"දකුණු සහ බටහිර ආසියා කළාපය තුළ පාපන්දු වර්ධනය කිරීමටත්, අනාගත ලෝක කුසලාන තරග හා ජාත්‍යන්තර තරගවලදී අවස්ථා හිමිකර ගනිමින් තරග කිරීමටත්, එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශතාව" සෞදි අරාබියා පාපන්දු සභාපති ආචාර්ය ඇඩෙල් එස්සාට් මහතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. ආසියානු පාපන්දු සම්මේලනය (AFC) දැනටමත් බටහිර, දකුණු, මධ්‍යම, නැ‍ඟෙනහිර හා අග්නිදිග ආසියා වශයෙන් කලාපීය කලාප පහකට අයත් වේ.

ආසියා පාපන්දු සභාපති ෂෙයික් සල්මන් බින් ඉබ්‍ර්හිම් අල් කලීෆා මහතා සමග පසුගිය සතියේ මේ නව පාපන්දු සම්මේලනය පිහිටුවීම ගැන සාකච්ඡා කළ බවත්, දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනය පිහිටුවීම පිළිබඳ විවෘත හා අවංක සාකච්ඡාවක් පැවැති බවත්, ඒ සඳහා කිසිදු විරෝධයක් නොමැති බවත් සෞදි අරාබියා පාපන්දු සභාපති ආචාර්ය ඇඩෙල් එස්සාට් මහතා කරුණු අනාවරණය කළේය.

තවත් දින කිහිපයකින් ආරම්භවන ලෝක කුසලාන තරගාවලියට ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල් 47කින් සෞදි අරාබිය, ඉරානය, දකුණු කොරියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් පමණක් සුදුසුකම් ලබා ඇත.

දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනයට ශ්‍රී ලංකා පාපන්දු සභාපති අනුර ද සිල්වා හා ලේකම් ඒ. එල්. එම්. ජස්වර් යන මහතා සහභාගීවී සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();