ලෝක ප්‍රකට ‘වෝග්‘ සඟරාවේ සෞදි අරාබි මුද්‍රණයේ ජූනි මාසයේ කවරය සැරැසී ඇත්තේ ඇගේ අතිශය පියකරු ඡායාරූපයකිනි. එරට කාන්තාවන්ට රිය පැදවීමේ නිදහස ලැබෙන අවස්ථාව සමරමින් මේ කවරයේ කතාව නිර්මාණය කර තිබේ. එය එක් අතකින් සෞදි කුමාරිකවක ජාත්‍යන්තර සඟරාවක කවරයකට පෙනී සිටි පළමු අවස්ථාවය. අනිත් අතට දැඩි මතධාරී ඉස්ලාම් රාජ්‍යයක පිරිමින්ට එල්ල කළ අතුල් පහරකි.
සෞදි අරාබිය අපේ රටේ වඩාත්ම කතාබහට ලක්වී ඇත්තේ මෙහෙකාර සේවයට මැදපෙරදිග යන ආසියාවේ කාන්තාවන්ට කැත විදිහට සළකන රටක් ලෙසටය. කාන්තාවන්ට කිසිදු ආකාරයේ නිදහසක් ලබා නොදෙන ඉස්ලාම් දහමේ මූලධර්මවාදීන්ගේ තෝතැන්නක් ලෙසටය. ජාත්‍යන්තරයට තෙල් විකිණීමෙන් පොහොසත්වූ සුදු ලෝගුවෙන් සැරසුණු සිටුවරුන්ගේ රජ දහනක් ලෙසටය. ශ්‍රී ලංකාවෙන් සෞදියේ මෙහෙකාර සේවයට ගිය බොහෝ කාන්තාවන් නොයෙකුත් හිරිහැර තාඩන පීඩනවලට ලක්වීමට සිදුවීමෙන් ද, මීට කලෙකට පෙර ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණිය රිසානා මරණ දඬුවමට ලක් කිරීමෙන් ද සෞදි අරාබිය අපේ රටේ කාන්තාවන්ට නම් දැන් පෙන්නන්නටත් බැරි ගානය.
එසේ වූවත් ඊයේ පෙරේදා සිට එරට කාන්තාවන්ට හිටි හැටියේම භුක්ති විඳීමට ලැබී ඇති අමුතු නිදහස ගැන දැන් දැන් ලෝකය පුරා විවිධ මතිමතාන්තර පැතිරෙමින් තිබේ. එරට කාන්තා විප්ලවයක පෙරනිමිති පහළ වන්නට පටන් ගත්තේ මීට වසර තුනකට පෙර එරට ගැහැනුන්ට ඡන්දය භාවිත කිරීමේ අයිතිය ලබාදීමෙන් පසුවය. මෑතකදී එරට ගැහැනුන්ට සිරුර වැසෙන සේ කළු කබාය ඇඳීමේ ඉස්ලාමීය නීතියත් සෑහෙන දුරකට ලිහිල් කරන්නටත් සෞදි රජයට සිදුවීමෙන් පසුව අලුත්ම මෝස්තරවල ඇඳුම් ආයිත්තම් වැල නොකැඩී සෞදි වෙළෙඳපොළ ආක්‍රමණය කරන්නට පටන් ගත්තේය. සෞදි පිරිමින්ට සේම කාන්තාවන්ටත් නිදහසක් අවශ්‍ය බව කියමින් එරට ගැහැනුන් ගෙන ගිය විප්ලවය එතැනින් නිමාවට පත් නොවීය. එරට ගැහැනුන්ට රිය පැදැවීමේ අයිතියත් ලබාදීමට සෞදි රජයට සිදුවී තිබිණි. එය ක්‍රියාත්මක වන්නේ මේ මාසයේ සිටය.
තමන්ගේ පවුලේ සාමාජිකයන් නොවන පිරිමින් සමග ගැවසීමට පනවා තිබූ තහනමත්, ප්‍රසිද්ධ පිහිනුම් තටාකවල දියනෑමට එරට ගැහැනුන්ට පනවා තිබූ තහනමත්, සෞදි ගැහැනුන්ට ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට සහභාගිවීමට පනවා තිබූ තහනමත් ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වන්නට පටන් ගෙනය. වසර 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පළමුවතාවට සෞදි අරාබිය නියෝජනය කරමින් එරට ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වූහ. පසුගිය වසරේදී පළමු වතාවට සෞදි අරාබියේ ජාතික ක්‍රීඩාංගණයේ තරග නැරැඹීම කාන්තා ක්‍රීඩාලෝලීන්ටත් විවර කිරීමට එරට රජයට සිදුවිය. සෞදි ගැහැනුන් අරභයා මේ විප්ලවීය වෙනස සිදුවූයේ දිගු කාලයක සිට එරට ගැහැනුන් ගෙන ගිය නිහඬ විරෝධතාමාලාවක ප්‍රතිඵලයක් ලෙසටය. එහි පෙරමුණේ පසුවූ බොහෝ කාන්තාවන් අතර එරට රජ පවුලේ කුමරියන් ද සිටි බැව් ප්‍රසිද්ධ රහසකි.
සෞදි ගැහැනුන්ගේ මේ විප්ලවයේ පෙරගමන් කාරියක බවට පත්ව සිටි හයිෆා බින් අබ්දුල්ලා අල් සවුද් කුමරිය ඊයේ පෙරේදා අලුත්ම පිම්මක් පැන්නාය. අබ්දුල්ලා රජුගේ අන්ත:පුරයේ බිරින්ඳෑවරුන්ගේ ප්‍රමාණය කොතෙක්දැයි හරියටම දන්නා කෙනකු නැත. එහෙත් ඔවුන්ගෙන් පැවත එන රජ කුමර කුමරියන්ගේ ගණන නම් තිහකටත් අධිකය. වසර 2015 ජනවාරියේ දී අබ්දුල්ලා රජු මිය පරලොව යද්දී ඔහුට අඩුම තරමින් පුතුන් 15ක් ද, දියණියන් 20ක් ද සිටි බව ඇතැම් වාර්තාවලින් කියැවෙයි. හයිෆා කුමරිය ඒ අතරින් කැපී පෙනෙන අතිශය රූමත් කුමරියකි.
ලෝක ප්‍රකට ‘වෝග්‘ සඟරාවේ සෞදි අරාබි මුද්‍රණයේ ජූනි මාසයේ කවරය සැරැසී ඇත්තේ ඇගේ අතිශය පියකරු ඡායාරූපයකිනි. එරට කාන්තාවන්ට රිය පැදවීමේ නිදහස ලැබෙන අවස්ථාව සමරමින් මේ කවරයේ කතාව නිර්මාණය කර තිබේ. එය එක් අතකින් සෞදි කුමාරිකවක ජාත්‍යන්තර සඟරාවක කවරයකට පෙනී සිටි පළමු අවස්ථාවය. අනිත් අතට දැඩි මතධාරී ඉස්ලාම් රාජ්‍යයක පිරිමින්ට එල්ල කළ අතුල් පහරකි. මේ කවරයේ කතාවට සෞදියේ සාමාන්‍ය කාන්තාවක් යොදා නොගෙන රජ කුමාරිකාවකම තෝරාගැනීම එරට රජයට සිය රටෙහි කාන්තාවන්ට නිදහස ලබාදීමට පොළඹවා ගැනීමේ අපූරු උපායකි.
‘අපේ රටේ කාන්තා විප්ලවයකට බය ගතානුගතික පිරිමින් දන්න ඉටි ගෙඩියක් නෑ. මම නම් මේ වෙනසට උදව් කරන්නේ පුදුමාකාර උද්යෝගයකිනුයි. ඕන කෙනකුට කියන්න පුළුවන් අපේ රටේ තමයි සුපිරි සමාජශීලී බවක් තියෙන්නෙ කියලා. ඒත් බටහිර ලෝකය ගත්තම අපේ රටේ ගැහැනුන්ට ඇති නිදහසේ දිගපළල හිතාගන්නත් බැරි තරම් පුංචියි.‘
හයිෆා කුමරිය වෝග් සඟරාවේ කවරයට පෙනී සිටියේ සෞදියේ දැඩි මතධාරී ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ අදහස් එසේ විවේචනය කරමිනි.
වසර 2005දී අබ්දුල් අසීස් බින් නවාෆ් බින් අබ්දුල් අසීස් සමග විවාහ වූ හයිෆා කුමරිය දරුවන් තිදෙනකුගේ මවක් වුවත් රූපශ්‍රීයෙන් නම් ඇය අවිවාහක තරුණියන්ගේ ආකර්ශණීය රුවට දෙවැනි නැත.
අමෙරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී මේ නිර්භිත රජ කුමරිය කිසිදු බියක් සැකක් නොමැතිව කවරයේ ඡායාරූපයකට පෙනී සිටියේ එරට දහස් සංඛ්‍යාත ගැහැනුන්ට කදිම ආදර්ශයක් ගෙන දෙමිනි.
සෞදියේ දැඩි මතධාරී ඉස්ලාම් ආගමික නායකයන්ගේ උදහසට පාත්‍රවීමට සිදුවන බව දැන දැනම හයිෆා කුමරිය මේ කවරයට පෙනී සිටියේ එරට නීතිය, කලාව, මෝස්තර නිරූපනය හා දේශපාලනය තුළ පෙරළිකරන්නට ගැහැනුන්ට පුදුමාකාර දිරියක් ලබාදෙමිනි.
‘දරුවන් තිදෙනකුගේ මවක් වන හයිෆා කුමරිය අපේ සඟරාවේ ජූනි මාසයේ කවරයට පෙනී සිටින්නැයි කළ ආරාධනාව පිළිගත්තේ එක පයින්මයි. ඇය මේ වගේ අවස්ථාවක් එනතුරු කල් මරමිනුයි හිටියේ. ඇයට ඕන වුණේ සෞදියේ නිදහස සොයන දහස් සංඛ්‍යාත ගැහැනුන්ට දිරියක් වෙන්නයි. ඒ වගේ දිරියක් රජ පවුලෙන්ම ලැබීම ඒ රටේ ගැහැනුන්ට කොයිතරම් ලොකු දෙයක්ද..? ‘ එසේ කියන්නේ වෝග් සඟරාවේ සෞදි මුද්‍රණයේ ප්‍රධාන කර්තෘ වන මැනුවෙල් ආර්නොට්ය.
‘අරාබි ලෝකය හරි විශාලයි. ගැහැනුන් පුදුමාකාර විදිහට ලස්සනයි. නිහතමානියි. අහිංසකයි. මුහුදුවැලි පාට සමක් සහිත මේ සුන්දර ගැහැනුන් කොයිතරම් කාලයක් නම් තමන්ගේ ආකර්ශනීය රුව හංගගෙන හිටියද..?‘ ඔහු එසේ විමසයි.
කවරයේ ඡායාරූප ගතකිරීම සිදුවූයේ ජෙඩා නුවරින් මිනිත්තු පනහක් පමණ ඈතින් පිහිටි කාන්තාරයේදීය. කාන්තාරයේ වැලි කුණාටු අතර රතු පැහැති නවීන පන්නයේ මර්සඩිස් 450 එස්.එල්.බෙන්ස් රථයේ රියැදුරු අසුනේ සුදු පැහැති ඇඳුමින් සැරැසී අසුන් ගෙන සිටින මේ සුන්දර කුමරියගේ ඡායාරූපය දහස් සංඛ්‍යාත සෞදි ගැහැනුන්ට නෙතට මනරම් දසුනකි. අනික් අතට එය එරට දහස් සංඛ්‍යාත ඉස්ලාම් දැඩි මතධාරි පිරිමින්ගේ දෑස් කෝපයෙන් රත් කරවන්නකි.
සෞදි රජය එරට ගැහැනුන්ට රිය පැදවීමේ අවසරය ලබාදීමට නියමිතව ඇත්තේ මේ මාසයේ 24 වැනිදාය. සෞදි ගැහැනුන් බලා සිටින්නේ එදවස උදවනතුරුය.
‘මමත් ආසයි ඩ්‍රයිව් කරන්න..‘ හයිෆා කුමරියත් පසුවන්නේ නොතිත් ආසාවෙන් යුතුවය. ඇගේ දෑස් දීප්තිමත්ය. ඒවයින් කියැවෙන්නේ සෞදි ගැහැනුන්ගේ නිදහසේ වපසරිය රිය පැදවීමෙන් පමණක් සම්පූර්ණ නොවන බවය.
එය රිය පැදවීමෙන් ඔබ්බට ගිය එකකි.

0 Comments