Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියට අදාළව පුහුණුකරුවන් තිදෙනකුගේ වැඩ තහනම්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියට අදාළව අල් ජසීරා රූපවාහිනියේ නම් සඳහන්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් තිදෙනකුගේ වැඩ තහනම් කරයි. එමෙන්ම සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කොට වැරදිකරුවන් ඇතොත් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.

පළාත් පුහුණුකරු ජීවන්ත කුලතුංග, දිස්ත්‍රික් පුහුණුකරුවන්වන තරිදු මෙන්ඩිස් හා තරංග ඉන්දික යන මහත්වරුන්ගේ වැඩ තහනමට ලක්කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා පැවැසූවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පවත්වන විධිමත් පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදීමට සූදානම් බවය.

අල් ජසීරා රූපවාහිනියේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දුරකතනයෙන් අමතා පරීක්ෂණයට සහයෝගය ඉල්ලා ඇති අතර ලබාදිය හැකි උපරිමය ඉටු කරන බව සිල්වා මහතා පැවැසීය.

“මේ සිද්ධිය පිළිබඳ අපට පරීක්ෂණ කරන්න බෑ. මේක ජගත් ක්‍රිකට් කවුන්සිලය විධිමත් ලෙස සොයා බලනවා. අපට වැරදිකරුවන් ඇතිනම් ආරක්ෂා කරන්න අවශ්‍ය නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ වැරදිකරුවන්ට අවශ්‍ය දඩුවම් ලබා දෙන්නයි. ගාල්ලේ තරගයක් දින තුනකට අඩුවෙන් නිමාවන පරිදි තණතිලි සකසා පවාදීමක් වුණ බවට කියැවෙනවා. දඟ පන්දු යවන්නන්ට වාසිදායක ලෙස හිතාමතා තණතිල්ල හැදූ බවයි සඳහන් වුණේ. 2016 ඔස්ට්‍රේලියාව සමග තරගයේදී අපේ දඟ පන්දු යවන්නන් කඩුලු දවා ගත්තා. නමුත් එම තණතිල්ලේ ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙද්දී ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන්නන් කඩුලු දවා ගත්තේ” මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

“අපේ රටේ තරග තියෙද්දී අපට වාසියට තණතිලි හදන එක අමුතු දෙයක් නොවෙයි. ඒක සෑම සත්කාරක රටකම සිදු වෙනවා. ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට සති 6කට පෙර තණතිලි සැකසීම ආරම්භ වෙනවා. ඒ කාලයේදී සකස් කෙරෙන තණතිල්ල කුමන එකක් විය යුතු ද යන්න නායකයාගෙන් විමසනවා. ඒක සාමාන්‍ය දෙයක්. මුරලිදරන්ට, හේරත්ට ඕනෑම දඟ කැවෙන තණතිල්ලක කඩුලු ගැනීම පහසුයි” සිල්වා මහතා පැවැසීය.

අදාළ සිද්ධිය සිදුවූයේ යැයි පවසන තරගයේ තරග තීරකගෙන් විනිසුරුවරුන්ගෙන් හෝ සංචාරක කණ්ඩායමේ නායකයාගෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බව ද සඳහන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් එයාර් කොමදෝරු රොෂාන් බියන්වල හා රාජ්‍ය බුද්ධි සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අයේෂ් වීරක්කොඩි යන මහත්වරු ද මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();