හිරු සඳු යට කිසිම රහසක් සදාකාලික නොවන බව ඔප්පු කරමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියේ තරග පාවාදීමේ රහස් බෝම්බය අල් ජසීරා රූපවාහිනි සේවය ඊයේ පෙරේදා පුපුරුවා දැම්මේය.
මිනිත්තු 53ක දීර්ඝ වීඩියෝ ගවේෂණාත්මක වැඩසටහනකින් අල් ජසීරා රූපවාහිනිය පසුගිය සෙනසුරාදා විකාශය කරනු ලැබුවේ ඔවුන්ගේ වෙස්වළාගත් වාර්තාකරුවන් විසින් පටිගත කරනු ලැබු ක්‍රිකට් ක්‍රීඩාවේ ඔට්ටු තබන බුකීකරුවන්, තරග පාවාදීමට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ තවත් පුද්ගලයන් සමග කළ සාකච්ඡාවන්ය.මේ ගවේෂණාත්මක වැඩසටහන මගින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුදලට තරග පාවාදීමේ සිදුවීම් රැසක් අනාවරණය වන අතර ඉන් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ එම වීඩියෝ පටයේ අඩංගු ශ්‍රී ලංකාවට සම්බන්ධ සිදුවීම්ය.
මේ වීඩියෝවට අදාළව අල් ජසීරා පුවත් සේවය විසින් නිකුත් කර ඇති නිවේදනය කියවද්දී එය කෙතරම් බැරෑරුම් සිදුවීම් පෙළක්දැයි සිතේ.
‘ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවාදීම ගැන අල් ජසීරා ගවේෂණාත්මක ඒකකය මෙසේ හෙළිදරවු කරයි. ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට අල්ලස් ලබාදී ක්‍රිකට් තරග තමන්ට අවශ්‍ය ලෙස හසුරුවමින් බුකීකරුවන් මිලියන ගණනින් මුදල් උපයාගැනීම කෙතරම් අපරාධයක්දැයි අපේ මේ ගවේෂණයෙන් හෙළිදරවු කරමු. ඉහළ මට්ටමේ ක්‍රිකට් තරග, ටෙස්ට් ක්‍රිකට් තරග හා සීඝ්‍ර ජනප්‍රියත්වයකට පත්වී ඇති විස්සයි20 තරග ඉලක්ක කරමින් මේ ජාවාරම කරගෙන යන අපරාධකරුවන් හෙළදරවු කිරීමට අප ඉතා රහසිගතව ඔවුන්ගේ සාකච්ඡා පටිගත කළෙමු. ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් ක්‍රීඩා කරන ටෙස්ට් තරග පාවාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟවන ආකාරයත් අප පටිගත කළෙමු. එමෙන්ම මාස 18ක් පුරා කළ මේ ගවේෂණයෙන් අපරාධකරුවන්ගෙන් මුදල් ලබාගෙන ටෙස්ට් තරග 2කදී ක්‍රීඩාංගණයේ තණතීරුව පළුදු කරමින් ඔවුන්ට තරගය පාලනය කිරීමටත්, ප්‍රතිඵලය වේලාසනින්ම අනුමාන කරමින් මිලියන ගණනින් මුදල් උපයාගැනිමටත් ඉඩ ප්‍රස්ථාව ලබාදුන් එක්තරා ක්‍රීඩාංගණ ප්‍රධාන නිලධාරියකු කටයුතු කළ ආකාරයත් අපි මෙසේ හෙළිදරවු කරමු.’
ඒ ටෙස්ට් තරග දෙකම පැවැත්වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ඉන් එක් තරගයක් පසුගිය වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරය. අනික් තරගය 2016 අගෝස්තුවේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතරය. ලබන නොවැම්බරයේ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගයේදිත් තණතීරුව පළුදු කිරීමට ඔවුන් සැලසුම් කළ ආකාරයත් අල් ජසීරා වාර්තාකරු රහසිගතව පටිගත කරගත්තේය.
ගාල්ල තණතීරුව පළුදු කිරීමට අල්ලස් ලබාදුන් බවත්, අනතුරුව ඔට්ටු තබා අතිවිශාල මුදල් කන්දරාවක් දිනාගත් බවත් වෙස්වළාගත් අල් ජසීරා වාර්තාකරුවන්ට කියනු ලැබුවේ ඉන්දියාවේ මුම්බායි නුවර සිටින රොබින් මොරිස් නමැති බුකීකරුවකු විසිනි.
තණතීරුව අපට අවශ්‍ය පරිදි සකස් කළ හැකිදැයි ගාල්ලේ හෝටලයක පැවැති හමුවකදී මොරිස් විසින් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිලධාරියකුගෙන් විමසූ බවත්, ‘පන්දු යවන්නාට වාසිදායක විදිහට නැත්තම් පිතිකරුවාට වාසිදායක විදිහට මට තණතීරුව හදන්න පුළුවනි.’ යැයි එම නිලධාරියා ප්‍රකාශ කළ බවත් මොරිස් සඳහන් කරයි.
‘ඔබට තණතීරුව හදලා දෙන්න ඕනා දඟපන්දුවට වාසිදායක විදිහටද, වේගපන්දුවට වාසිදායක විදිහටද නැතිනම් පිතිහරඹයට වාසිදායක විදිහටද ඕන විදිහට වැඩේ කරන්න පුළුවනි.’ ගාල්ල ක්‍රීඩාංගණයේ නිලධාරියා වැඩිදුරටත් කියා තිබේ. .
ඔස්ට්‍රේලියාව සමග 2016 වසරේ පැවැති තරගයේදී තමා පන්දු යවන්නන්ට වාසිදායක ලෙස තණතීරුව සකස් කළ බව ඔහු කීවේය.
‘ඒ දවස් පහේ තරගයේදී අපි ගල් රෝලක් පාවිච්චි නොකරයි තණතීරුව සකස් කළේ. ඒ විදිහටයි අපි දඟපන්දුවට උචිත තණතීරුවක් හැදුවේ. ඒ විදිහට තණතීරුවක ටෙස්ට් තරගය දවස් පහක් යන්නෙත් නෑ, ඩ්‍රෝ වෙන්නෙත් නැති බව සහතිකයි.’
ඒ ආකාරයෙන් තණතීරුව සකස් වෙද්දී පිතිකරුවන්ට මුහුණපෑමට සිදුවන ඉරණම බුකීකරුවා වේලාසනින්ම දැනගනී. එවිට තරගය ජයපරාජයෙන් තොරව නිමානොවන බවට ඔට්ටු තබා අතිවිශාල මුදලක් දිනාගැනීමට ඔහුට හැකිය.
ඉන්දීය පිල සමග පැවැති තරගයේදී පිතිකරුවන්ට වාසිවන ආකාරයෙන් තණතීරුව සකස් කළ බව අල් ජසීරා රූපවාහිනියේ වෙස්වළාගත් වාර්තාකරුවන්ට ගාල්ල ක්‍රීඩාංගණයේ නිලධාරියා කීවේය.
‘අපි ගල් රෝලකින් තණතීරුව තැලුවා. ඊළඟට එය තවත් රළු කරන්න හොඳින් වතුර දැම්මා.’
ඒ අනුව එම තරගයේ පළමු ඉනිමේදී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා වීමේ ඉඩකඩ නිර්මාණය කෙරිණි. බුකී කරුවන්ගේ අනාවැකිවලට වඩා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ යන බවට ඔට්ටු තබා සෑහෙන මුදලක් උපයාගැනීමට අපරාධකරුට අවස්ථාව උදාවිය. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 600ක් රැස් කළේය.
මීළඟට ඔබට අවශ්‍ය පරිදි ගාලු තණතීරුව සකස් වන්නේ කුමන තරගයේදිදැයි ගාල්ලේ පැවැති හමුවේදී අල් ජසීරා වාර්තාකරු මොරිස්ගෙන් විමසා සිටියේය.
‘ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයටයි’
එය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ නොවැම්බර් මාසයේදීය. එම තරගයත් දින 4කින් නිමාවට පත් කළ හැකිදැයි වාර්තාකරු ගාල්ල ක්‍රීඩාංගණයේ නිලධාරියාගෙන් විමසා තිබේ.
‘මැච් එක දවස් දෙකහමාරකින් ඉවරවෙන විදිහට මට හදන්න පුළුවනි’ එම නිලධාරියා එසේ පිළිතුරු දී ඇත්තේ හඬ නඟා හිනැහෙමිනි.
මීට අමතරව මොරිස් විසින් තම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරිමට සම්බන්ධවි සිටින තවත් ශ්‍රී ලාංකික පුද්ගලයන් කිහිපදෙනකු අල් ජසීරා වාර්තාකරුවන්ට මුණ ගස්වනු ලැබීය. ඒ අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වෙති. ඉන් එක් ක්‍රීඩකයකු පසුකාලෙක ජාතික කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළේය. මේ දෙදෙනාම මොරිස්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට කැමැත්ත පළ කරන බව වීඩියෝ පටයේ පැහැදිලිව දැක්වෙයි.
‘මේක අපිට ලොකු දෙයක් නෙවෙයි. අපි මේක කරමු. ක්‍රිකට් ගහනවා කියන්නේ අපිට හරියට හැමදාම උදේට දත් මදිනවා වගේ වැඩක්. රොබින් (මොරිස්) කියන විදිහට අපි කරන්නම්. අපි ඔබව බලාගන්නම්, ඔබ අපිව බලාගන්න.’ පසුකලෙක කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළ හිටපු ක්‍රීඩකයා අල් ජසීරා වාර්තාකරුට එසේ කියන අයුරු එහි දැක්වෙයි.
අල් ජසීරා රූපවාහිනිය විසින් හෙළිදරවු කළ මේ තරග පාවාදීමේ සිදුවීම් මාලාව මෑත කාලයේ අනාවරණය වූ විශාලතම ක්‍රිකට් තරග පාවාදීමේ කුමන්ත්‍රණය විය හැකිය. එසේ වුවත් වරින් වර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙවැනි සිදුවීම් වාර්තා වෙයි. ඉන්දීය පිලේ හිටපු නායක මොහොමඩ් අසාරුදීන්ගේ ඉල්ලීමට අනුව අල්ලස් මුදල් ගෙන තරග පාවාදුන්නේ යැයි කියන දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක හැන්සි ක්‍රොන්යේට අන්තිමේදී සිදුවූයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නටය. ඔහු ජීවිතක්ෂයට පත්වූ ගුවන් අනතුර සිදුවූ ආකාරය අදටත් අභිරහසකි. ඉන් වසර කිහිපයකට පසුව ලෝක කුසලාන තරගමාලාව අතරතුර පාකිස්තානු පිලේ පුහුණුකරු බොබ් වුල්මර් අභිරහස් ලෙස මරණයට පත්විය. ක්‍රීඩාව පසුපස පාතලයේ අදිසි හස්තයක් ඇතැයි ඉන් පසුව අනාවරණය විය. මේ අදිසි හස්තය අන් කිසිවකු හෝ නොව ක්‍රිකට් ක්‍රීඩාවේ ඔට්ටු තැබීමේ මාෆියාව මෙහෙයවනු ලබන දාවුඩ් ඉබ්‍රාහිම්ය. ඉන්දීය ජාතික දාවුඩ් දැන් ජීවත්වන්නේ වෙනත් රටක රහසිගතවය. ඔහු ජාත්‍යන්තර ත්‍රස්තවාදීයකු බවට නම් කර තිබේ. ඔහුගේ වත්කම වර්තමානයේ අමෙරිකානු ඩොලර් බිලියන 6.7.කි මේ සියල්ල ඔහු පාතාල ක්‍රියාකාරකම්, සූදු, කුලියට මිනිමැරීම්, ක්‍රිකට් තරග මුදලට පාවාදීමේ ජාවාරම් ආදියෙන් උපයා ගත් ඒවාය.
දාවුඩ් ඉබ්‍රාහිම් ගැන පසුදිනෙක කියවමු.
සටහන
ෆවුස් මොහොමඩ්

0 Comments