Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පක්ෂයක් රඳා පවතින්නේ එහි වැඩපිළිවෙළ සහ දර්ශනය මතයි

එක්සත් ජාතික පක්ෂයේ සියලුම තනතුරු එක දැති රෝදයක් ලෙස කටයුතු කර ඉදිරියට යා යුතු බවත්, කිසිදු මන්ත්‍රීවරයෙක් සැලසුම් කර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම වර්ජනය නොකළ බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක හා වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක පැවැසීය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඉකුත් දා පැවති ජාත්‍යන්තර රබර් සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගීවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද පැවැසුවේය.

"එක්සත් ජාතික පක්ෂ මැයි දිනයට විශාල පිරිසක් පැමිණියා. මෙතරම් විශාල පිරිසක් පැමිණෙතැයි අපි බලාපොරොත්තු වුණේ නෑ. ඒත් පන්දහසක් පමණ පිරිසක් පැමිණියා. මේ නිසා ඇතැම් අයට මැයි දින සැමරුම පැවැත්වූ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නොහැකි වුණා. අපේ පක්ෂයට පාක්ෂිකයන් ආදරෙයි. මේ නිසා තමයි පාක්ෂිකයන් දහස් ගණනින් ආවේ.

මැයි දින සැමරුමට සහභාගී නොවූ ඇතැම් මැති ඇමැතිවරු ගැන කතා කරනවා. සැලසුම් කරලා මේ අය මැයි දිනය වර්ජනය කළේ නෑ. මගේ සහෝදරයා මයන්ත දිසානායක මැයි දින සැමරුමට ආවේ නෑ. ඔහු මේ දිනවල කැනඩාවේ සිටින්නේ. ඔහු සැලසුම් කරලා මැයි දිනය වර්ජනය කරන්න ඕන කියලා විදෙස් ගත වුණේ නෑ. කබීර් හෂීම් ඇමැතිවරයා අසනීපයෙන් ඉන්නේ. මලික් සමරවික්‍රම ඇමැතිවරයා කොළඹින් පිට සිටියේ. කවුරුවත් සැලසුම් කරලා මැයි දින සැමරුමට නොපැමිණියේ නෑ. තවමත් අළු යට ගින්දර වගේ ප්‍රශ්න ඇති. මේවා සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රශ්න තිබෙනවා නම් එළියට අරගෙන ඒවා සාකච්ඡා කරන්න ඕන.

මම ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන ඉන්න අයෙක්. ලලිත්, ගාමිණී පක්ෂයෙන් ඉවත් වුණා කියලා එක්සත් ජාතික පක්ෂය කඩා වැටුණේ නෑ. පොඩි පසුබෑමක් ඇති වුණා විතරයි. ජේ. ආර්. ජයවර්ධන විසින් රුක්මන් සේනානායක පක්ෂයෙන් ඉවත් කළා කියලා පක්ෂය කඩා වැටුණේ නෑ. එක්සත් ජාතික පක්ෂය පවතින්නේ චරිත මත නොවෙයි. පක්ෂය රඳා පවතින්නේ එහි වැඩපිළිවෙළ හා දර්ශනය මතයි. මැයි දිනයට රවි කරුණානායක නොපැමිණීම ගැන කනගාටුවට පත් වෙනවා. පුද්ගලයන් මත නොවෙයි අපේ පක්ෂය යන්නේ. පක්ෂය ඉදිරියට යන්නේ පුද්ගල කණ්ඩායමක් සමඟයි."

මහ ලේකම්, ජාතික සංවිධායක තනතුරු, පක්ෂයේ නායක, සභාපති, ලේකම්, නියෝජ්‍ය නායක, උප නායක, ජාතික සංවිධායක ඇතුළු සියලුම තනතුරු එක දැති රෝදයක් වගේ කටයුතු කරන්න ඕන. එහෙම වුණොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. අපිට පක්ෂය ඉදිරියට ගෙන යෑමට අදහස් තිබෙනවා. ප්‍රේමදාස, ලලිත්, ගාමිණී අයගෙන් පසුව පක්ෂය භාරගැනීමට නායකත්වයක් පැමිණියා. මේ ආකාරයට පක්ෂයේ නායකත්වය ගන්නේ කවුරුන්ද යන්න ගැන පාක්ෂිකයා, ජනාතව තීරණය කරාවි." 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();