ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම සඳහා විධිමත් නෛතික රාමුවක් සකස් කරන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දෙන නිර්දේශ මත, එම පාසල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය, අක්ත ගැන්වීම හා නියාමනය සම්බන්ධයෙන් මේ දක්වා නීතිරීති හා රෙගුලාසි සකස් කරනු ලැබ නොතිබීම හේතුවෙන් විවිධාකාර අවධිමත් ලියාපදිංචි කිරීමේ මාර්ග ඔස්සේ සීමාවකින් තොරව නිසි ප්‍රමිතියක් රහිත ජාත්‍යන්තර පාසල් රටපුරා ස්ථාපනය වීමේ අවදානමක් පවතින බවද, එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගෙන් 95%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකික දරුවන් බැවින් රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් එම සිසුන් විසින් ලබා ගන්නා බවට සහතික කළ යුතුව ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් තීරණ දැනුම් දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබාගැනීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී සහ විදේශ ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමේදී නිසි ලෙස ප්‍රමිතිකරණයට ලක් කරන ලද ජාත්‍යන්තර පාසල් පැවතීම අත්‍යවශ්‍ය ප්‍රබල සාධකයක් බැවින්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් විධිමත් නෛතික රාමුවක් සකස් කරනු ලබන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලබන නිර්දේශය මත, ජාත්‍යන්තර පාසල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.
තවද, ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම, අක්ත ගැන්වීම, නියාමනය, ගුණාත්මක බව සහතික කිරීම සහ අධීක්ෂණය සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ස්ථාපනය කිරීම, එම පාසල්වල ගුරුවරුන් පුහුණු කිරීම, ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සිංහල, දෙමළ, ආගම සහ ඉතිහාසය යන විෂයයන් ඉගැන්වීම අනිවාර්යය කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ඇමැතිවරයා කීය.
0 Comments