නූතන ලෝකය ජයගැනීමට තාක්ෂණයෙන් සන්නද්ධ පුහුණු බළකායක් ස්ථාපිත කළ යුතු බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 2018 අධ්‍යයන වර්ෂයට සිසුන් 1,200ක් බඳවාගැනීමේ සමාරම්භක උත්සවය අමතමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.
"විවිධ හැකියාවලින් පොහොසත් දරුවන් අවශ්‍ය තරම් ශ්‍රී ලංකාවේ සිටිනවා. ඔවුන්ගේ හැකියා වැඩිදියුණු කරමින් ඔපවත් කිරීම යුගයේ අවශ්‍යතාවක්. ලෝකයේ ප්‍රධාන ධනෝපායන මාර්ග අතරින් අවිආයුධ කර්මාන්තය, ඛණිජ තෙල් කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ආදියට සුවිශේෂ තැනක් හිමි වෙනවා. එහෙත් නූතන ලෝකයේ ප්‍රධාන නව ධනෝපායන මාර්ගය වන්නේ වෘත්තීය තාක්ෂණිකයන්. අපේ රටේ විවිධ හැකියාවලින් පොහොසත් දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ගේ හැකියා වැඩිදියුණු කරමින් ඔපවත් කිරීම, යුගයේ අවශ්‍යතාවයක්. නූතන ලෝකය ජයගැනීමට නම් වෘත්තීය තාක්ෂණයෙන් සන්නද්ධ පුහුණු බළකායක් ස්ථාපිත කළ යුතුයි. එහෙම වුණොත් පමණයි, රටක් හැටියට අපට අනාගතයක් තියෙන්නෙ. නූතන ලෝකය ජයගන්න පුළුවන් වෙන්නෙ. එවන් ශ්‍රම බළකායකින් අපට හැකි වෙනවා ආර්ථික අතින් සන්නද්ධ දියුණු ලෝකයට අවතීර්ණ වෙන්න. ඒ සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට විසල් කාර්යභාරයක් පැවරෙනවා.
මෙවර බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව, දෙගුණයකින් වැඩි කළේ එකී ඉලක්කය කරා ගමන් කිරීමේ අභිලාසයෙන්. කිසිදු මුදලක් අය නොකර උපාධි පාඨමාලා, ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා නොමිලේ ක්‍රියාත්මක කිරීමට අපගේ ආණ්ඩුව ක්‍රියා කළේ අධ්‍යාපනයෙන් ලොව ජයගැනීමේ කන්නන්ගර ප්‍රාර්ථනය තව තවත් තහවුරු කිරීමේ උදාර පරමාර්ථයෙන්.
'අලුත් අලුත් දෑ නොතනන ජාතිය, ලොව නොනඟී' යැයි කුමාරතුංග මුනිදාසයන් ප්‍රකාශ කළේ මීට දශක ගණනාවකට ඉහත දී. ඒ මහතාගේ ප්‍රකාශය යථාර්ථයක් කරන්න නම් නිර්මාණශීලී පරපුරක් බිහි කරන්නට අපි අවංකවම මැදිහත් විය යුතුයි. ඒ සඳහා නව දැක්මක් ඔස්සේ වෘත්තීය තාක්ෂණ ක්‍රමෝපායන් බල ගැන්විය යුතුයි."
කුලපති, මහාචාර්ය දයන්ත විජේසේකර මහතා,
"ඉතා ඉහළ වැටුප් සහිතව වෘත්තීය තාක්ෂණිකයන්ට ලෝකයේ ඕනෑ තරම් රැකියා තිබෙනවා. ඒත් අපේ ගම්වල දරුවන් මේ ක්ෂේත්‍රය ගැන තවමත් නිසි දැනුවත්කමක් නෑ. ඒ නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික රැකියාවලට කොටු වෙලා. තරුණයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ත්‍රීරෝද රථ රියැදුරන් වෙලා. අපේ රටේ, ජනමාධ්‍යවල යුතුකම හා වගකීම වෙන්නේ රැකියා උල්පත් මතු කරමින් ඔවුන් අභිමානවත් වෘත්තිකයන් ලෙස සමාජගත කිරීමයි.
පූර්ණ කාලීන හා අර්ධ කාලීන (සති අන්ත) උපාධි පාඨමාලා 13ක් සඳහා NVQ 5/6 සුදුසුකම් සම්පූර්ණ කළ සිසුන් සමඟ 2017 අ.පො.ස. (සා/පෙළ) සමත් සිසුන් 1200ක් මෙවර බඳවාගැනීමට අප ක්‍රියා කළේ ඒ නිසයි."
උපකුලපති, මහාචාර්ය ජී. එල්. ඩී. වික්‍රමසිංහ මහතා
"මේ වන විට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨයෙන් ලබාදෙන මෙකාටොනික් තාක්ෂණවේදී උපාධිය, ගොඩනැඟිලි සේවා තාක්ෂණවේදී උපාධිය හා නිෂ්පාදන තාක්ෂණවේදී උපාධියට අන්තර් ජාතික Sydney සම්මුතිය යටතේ IESL ප්‍රතීතනය හිමි වී තිබෙනවා. තාක්ෂණික උපාධි වෙනුවෙන් ලබාදෙන මේ තත්ත්ව සහතිකය හිමිවීමෙන්, මේ පාඨමාලා අන්තර් ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති බව තහවුරු වෙනවා. එමඟින් අදාළ උපාධි පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථීන් වෙනුවෙන් දෙස් විදෙස් උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම රැකියා අවස්ථා සඳහා වෘත්තීය සුදුසුකමක් හිමිවීම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ලද ජයග්‍රහණයක්."
සම්භාවනීය අමුත්තතෝ ද, විශ්වවිද්‍යාලයීය 125 අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
0 Comments