තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ජාත්‍යන්තර පොලිසිය හරහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුව නැවත කැඳවන ලෙස සහ අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් නිදහස් කරන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ගාස්තු රහිතව එම පෙත්සම ඊයේ (11) නිෂ්ප්‍රභ කෙළේය.
එම පෙත්සම විභාගයට අවසර දීමට තරම් පදනමක් නැත යන පදනම මත පෙත්සම ඉවත දමන ලදී.
බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම කැඳවන ලදී.
ලතා ඉන්ද්‍රානි මාන්නප්පෙරුම නමැත්තිය සිය ඇටෝනි බලපත්‍ර හිමිකාරිය ලෙස සඳහන් කරමින් මේ පෙත්සම ගොනුකර තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා, මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු හත්දෙනකු පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට සිටියහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදු වූ වංචාවකට සම්බන්ධ බවට උදයංග වීරතුංගට එරෙහිව මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබේ.
පසුව ඉකුත් 2016 වසරේ ඔක්තෝබර් මස 20 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් වරෙන්තුවක් නිකුත් කරන ලදී.
එසේම මහ බැංකු මූල්‍ය බුද්ධි අංශය විසින් ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවන ලදී.
එම ක්‍රියාවන් මඟින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට පැමිණිලි කරමින් මේ පෙත්සම ගොනුකර තිබුණි.
ඒ වෙනුවෙන් රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ලබාදෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
0 Comments