සිරියාවේ නැඟෙනහිර ගුටා හි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින අවසන් නගරය වන ඩුමා වෙත එල්ල කෙරුණ රසායනික අවි ප්‍රහාරයට අසාද්ට සහාය දෙන රුසියානු ජනාධිපති පුටින් සහ ඉරානය වගකිව යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කාන්තාවන් සහ ළමයින් ද ඇතුළුව 70 දෙනකුට අධික පිරිසක් මරණයට පත් වූ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් ට්‍රම්ප් නිකුත් කරන ලද ට්විටර් පණ්වුඩයේ මේ බව සටහන් කර ඇත.
මේ අතර රසායනික ප්‍රහාරයක් පිළිබඳ වන චෝදනා ප්‍රතික්ෂේප කරන සිරියානු රජය එය ගොතන ලද්දක් බව පවසයි. කෙසේ වුවත් වෛද්‍ය, නිරීක්ෂණ හා ක්‍රියාකාරී කණ්ඩායම් වෙතින් රසායනික ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වුව ද, සංඛ්‍යා දත්ත හා තොරතුරු වෙනස් ස්වභාවයක් දරන අතර තවමත් තොරතුරු ලැබෙමින් පවතී.
වයිට් හෙල්මට්ස් ස්වෙච්ඡා ගලවා ගැනීමේ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ හුස්ම හිරවීමෙන් හැත්තෑ දෙනෙක් මියගොස් ඇති අතර තවත් සිය ගණනකට තවම හුස්මගැනීමේ අපහසුව පවතින බවයි. මියගිය ගණන 150 ට වැඩි බව දක්වමින් ඔවුන් පළ කර තිබූ ටිවිටර් පණ්වුඩය මේ වන විට ඉවත් කර තිබේ.
මාරාන්තික විෂ රසායනිකයක් වන සරින් අඩංගු බැරල් බෝම්බයක් හෙලිකොප්ටරයකින් හෙළා ඇති බව ගුටා මාධ්‍ය මධ්‍යස්ථානය ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසයි.
2013 වසරේ දී ද නැඟෙනහිර ගුටා හි කැරලිකරුවන් අත පැවති ප්‍රදේශ වෙත සරින් විෂ රසායන සහිත රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිය ගණනක් මිය ගියහ. 2017 අප්‍රේල් මාසයේදී ද විපක්ෂය සතුව පැවති නගරයක් වන ඛාන් ශෙයිඛුන් වෙත සරින් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් අසූවකට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා විය. 2018 වසර මුල දී කැරළිකරුවන්ගේ පාලනයේ පැවැති නගර වෙත සිරියානු රජයේ හමුදා විසින් විෂ සහිත ක්ලෝරීන් වායුව අඩංගු බෝම්බ හෙලන ලද බව ක්‍රියාකාරීන්, වෛද්‍ය කණ්ඩායම් සහ අමෙරිකාව පැවසයි.

0 Comments