ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ආයෝජන සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
දෙරටේම ආයෝජකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ සමුළුවේදී දෙරට අතර ආර්ථික බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ද පුළුල් අවධානය යොමු කෙරිණි.
ක්ෂේත්‍ර රැසක නව ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා රැසක් අද ශ්‍රී ලංකාව තුළ පවතින බවත් ඒ සඳහා තමන් ජපාන ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා එහිදී පැවසීය.
ආයෝජකයන් ඇමතු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේ, ජපානය සහ ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ ක්ෂේත්‍ර ගණනාවකදී සහයෝගයෙන් කටයුතු කරන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ සංචාරයත් සමඟ එම සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.
ජපාන පාර්ලිමේන්තු, ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ද මේ හමුවට එක්ව සිටියේය.
ඉන් අනතුරුව ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ සභාපති හිරෝකි ඉෂිගේ මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ජපාන වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන සේවාවන් සපයන ප්‍රමුඛ රාජ්‍ය ආයතනයක් වන ජෙට්රෝ ආයතනයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව කරුණු දැක්වූ සභාපතිවරයා, එම කටයුතු ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
අනතුරුව ජනාධිපතිතුමා හමුවූයේ ජයිකා ආයතනයේ සභාපති ෂිනිචි කිතඕකා මහතායි.
ජයිකා ආයතනයේ සහයෝගයෙන් දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සෙසු සංවර්ධන ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ සෑම අවස්ථාවකම දේශීය ව්‍යාපාරවලට මුල්තැන දෙමින්, විදේශීය ආයෝජන ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රතිපත්තිය බවයි. රටක් ලෙස රටේ ජනතාව දිරිමත් කළහැකි හා ඔවුන්ට ස්වෝත්සාහයෙන් නැගී සිටිය හැකි ව්‍යාපෘතිවලට සහාය වන ලෙස මෙහිදී ජයිකා ආයතනයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා, අද ශ්‍රී ලංකාවට වඩා වැදගත් වන්නේ පොදු ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය කුඩා සහ මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහායවීමට ද මෙහිදී සභාපතිවරයා කැමැත්ත පළ කළේය.

0 Comments