Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෞඛ්‍ය සේවාව නංවන්න වසරක් පාසා බිලියන 100ක්

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට රුපියල් බිලියන 100ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියට මුල පිරීම පිළිබඳ ජාතික සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා පැවැත්විණි.

එම ව්‍යාපෘතිවල තොරතුරු ජනතාවට නිවැරැදි ආකාරයෙන් නොලැබීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සමුළුව පැවැත්විණි.

සමුළුවට සහභාගී වෙමින් ඇමැතිවරයා මෙසේ පැවැසුවේය. රටේ සෑම ප්‍රදේශයකම සෞඛ්‍ය සෞඛ්‍ය සේවාවන් නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සේවාවක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණයි. නොමිලේ අක්ෂි කාච, ස්ටෙන්ස් ලබාදීම තුළින් දුප්පත් රෝගීන්ට විශාල සහනයක් ලබා දුන්නා. සෞඛ්‍ය සේවාව තුළ මෙතෙක් ආරම්භ නොකළ බද්ධ කිරීම් පසුගිය වසර 3 දී ආරම්භ කළා. ඇතැම් ශල්‍යකර්ම සහ බද්ධ කිරීම් ආරම්භ කර සිදු කරන විට එය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරූ අයත් සෞඛ්‍ය සේවාව තුළ ඉන්නවා.

අක්මා බද්ධ කිරීම ආරම්භ කිරීමේ දී මතු වූ ගැටලු හොඳම උදාහරණයයි. මෙතෙක් සෞඛ්‍ය සේවාව තුළ ආරම්භ නොකළ ප්‍රතිකාර සේවා ක්‍රම ආරම්භ කළ යුතුයි. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා දරුවන් සඳහා ඇටමිදුලු බද්ධ කිරීම සාර්ථකව සිදු වෙනවා. මේ වන විට දරුවන් 50 ක් පමණ එමඟින් බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. තැලසීමියා රෝගීන් සඳහා ඇටමිදුලු බද්ධ කිරීම ලබන වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

නීති රීති ලිපි ලේඛන පිළිබඳ කථා නොකර ප්‍රායෝගික තීන්දු තීරණ ගත යුතුයි. මිනිස් ජීවිත 10ක් මැරිලා ගන්න තීන්දුවට වඩා ඊට පෙර ගන්නා තීන්දුව ඉතා වැදගත් වෙනවා. තීන්දු තීරණ ගැනීමේ දී කිසිවෙකු අපහසුතාවයට පත්වනවා නම් එහි වගකීම බාර ගැනීමට මම සූදානම්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් රාජකාරී කටයුතු සිදු වන්නේ ඉතාම මන්දගාමීවයි. අපි සෞඛ්‍ය සේවාවන් ඉටුකිරීමේ දී වේගවත් විය යුතුයි. එහෙත් සමහර නිලධාරීන් රාජකාරියක් ලෙස නොසලකා යුතුකමක් ලෙස සලකා වේගවත්ව රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා. 2018 වසර අවසන් වන විට ඊ-හෙල්ත් කාඩ්පත මිලියන 20 ක් වූ ජනතාවට ලබාදීමටයි මම තීරණය කර ඇත්තේ.

එමඟින් කිසියම් රෝගියෙකුගේ සියලු තොරතුරු එහි සටහන්ව තිබෙනවා. තව ද බද්ධ කිරීම් සඳහා අවශ්‍ය අවයව ගුවන් මඟින් ප්‍රවාහනය කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. බද්ධ කිරීම් සඳහා අවශ්‍ය අවයව කඩිනමින් රෝහල්වලට ගෙනා යුතුයි.

ඒ සඳහා ජනාධිපතිවරයා සමඟ ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. තවද ඉදිරි කාලයේ දී ආපදා හෙළිකොප්ටර් යානා 08 ක් ජර්මනියෙන් ලබාගැනීමෙන් පසු අවයව ප්‍රවාහනය කිරීම ඉතා පහසු වෙනවා.1990 සුව සැරිය ගිලන් රථ සේවාව විධිමත් සේවාවක් බවට පත්ව තිබෙනවා. අනාගතයේ දී ගුවනින් සහ ගොඩබිමින් රෝගීන් ප්‍රවාහනය කිරීමත් සමඟ විධිමත් සෞඛ්‍ය සේවාවක් රෝගී ජනතාවට ලබාදිය හැකියි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();