Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සැබෑ බෞද්ධයන් ජාතිවාදය අවුස්සා රට ගිනි තියන්න වෙර දරන්නේ නැහැ

සැබෑ බෞද්ධයෝ ජාතිවාදය අවුස්සා රට ගිනි තබන්නට උත්සාහ නොකරන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආගම්, ජාතිය මුල්කර ගනිමින් දේශපාලනික වශයෙන් යම් අරමුණු ඉටුකරගන්න පිරිසක් උත්සාහ කරනවානම් ඔවුන් නොහැකියාවෙන් පෙළෙන කණ්ඩායමක් බවද ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 35ක් වටිනා බස්රථයක් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

ජනවාරි 12 වෙනිදා යෙදී තිබූ මගේ 51වැනි ජන්ම දිනය නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 8ක දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා බස් රථ 8ක් පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබුණා. ඒ නමුත් පළාත් පාලන මැතිවරණය නිසා එම ව්‍යාපෘතිය කල් දැමීමට සිදුවුණා. මැතිවරණයෙන් පසුවත් යම් කාලවකවානුවක් තුළ කිසිවක් පරිත්‍යාග නොකරන ලෙසට අපට උපදෙස් ලැබුණා. එම ප්‍රමාදයෙන් පසුව අද දින හම්බන්තොට සහිරා ජාතික පාසලට ලක්ෂ 35ක වටිනාකමින් යුත් බස් රථයක් පරිත්‍යාග කරනවා. අද හම්බන්තොට සහිරා ජාතික පාසල සහ සුචී ජාතික පාසල, හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලය යන පාසල්වලට කඩිනමින් බස් රථ ලබා දීමට කටයුතු කරනවා. ඊට අමතරව තවත් පාසල් දෙකක් වන ශාන්ත මේරි ජාතික පාසලටත්, ඉක්රා ප්‍රාථමික විද්‍යාලයටත් බස් රථ දෙකක් ලබා දෙන්න යැයි මැතිවරණ වකවානුවේදී විදුහල්පතිවරුන් දෙපළක් මගෙන් ඉල්ලීමක් කළා. ජූනි 23 වැනිදාට යෙදී තිබෙන මගේ පියාණන්ගේ ජන්ම දිනයේදී ඒ පාසල් දෙකටත් බස් රථ ලබා දීමට කටයුතු කරනවා.

අද සෑම තැනම බොරුව, කට කතාව, රැවටිල්ල ඉස්මතු වී ජනතාව මුළාවට පත්වනවා. ජනතාව බොහෝ බුද්ධිමත් වන්නට ඕනෑ. හම්බන්තොට ප්‍රදේශය ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සෑම ජන කොටසක්ම එකට ජීවත් වන නගරයක්. ජාති, ආගම් පදනම් කර ගනිමින් භේද බින්නවීම් මේ ප්‍රදේශය තුළ සිදුවී නැහැ. ජාති, ආගම්, පන්ති භේදයකින් තොරව සමකාමීව සෑම දෙනාම සංහිඳියාවෙන් ජීවත් වන ප්‍රදේශයක් තිබෙනවා නම් ඒ වෙන කොහේවත් නොව යයි හම්බන්තොට දිස්ත්‍රික්කය කියා මා සතුටින් ප්‍රකාශ කරනවා.

මා සංවර්ධන වැඩකටයුතු සිදු කරන්නේ ජනතාව ඡන්දය ප්‍රකාශය කරන ආකාරය බලා නොවෙයි. මා වෙනදාටත් වඩා ජනතාවට සේවය කරනවා. ජූනි 23 ‍වැනිදාට හම්බන්තොට ජීවත් වන පවුල් 1,000කට මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. අපේ ගමන සංවර්ධනය, ජනතා සේවාව මත යන ගමනක්. අපගේ වගකීම අවංක සිතුවිලි පදනම් කර ගනිමින් ජනතාවට ශක්තිමත් සේවාවක් සිදු කිරීමයි. අපගේ ශක්තිය යොදවන්නේ ජනතා සේවාවන් ඉටු කිරීමට මිස ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට නොවෙයි. අපේ රටේ බහුතර ජනතාවගේ සිතුවිලි නිතරම වෙනස් වනවා. කට කතාවලට බොහෝ දෙනෙක් මංමුළා වනවා. නමුත් ඔබට අවසානයේදී ඉතිරි වන්නේ අප සිදු කරන්නා වූ සේවාවන් පමණයි. පාසල් සඳහා ලබා දීමට ගෙන ආ බස් රථ පාසල්වලට ලබා නොදී මැතිවරණ කාලයේදී ඒ මුදල් ඡන්දය ලබාගැනීමට යොදවන්නට අපට හැකියාව තිබුණා. එක ගෙදරකට රුපියල් 5,000 බැගින් බෙදන්නට තිබුණා. නමුත් අප එසේ කළේ නැහැ.

පසුගිය දින කිහිපයේදී අම්පාර හා මහනුවර ප්‍රදේශවල සිදු වූ සිදුවීම් සියල්ලක්ම සෝචනීයයි. කවුරුන් හෝ තමන්ගේ ආගම, ජාතිය මුල් කරගනිමින් දේශපාලනික වශයෙන් යම් අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරනවා නම් එම පිරිස නොහැකියාවෙන් පෙළෙන පිරිසක් ලෙස මා දකිනවා. කවුරුන් හෝ හැකියාවෙන් ජනප්‍රිය වන්නට උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයාට පාසල් ඉදිකිරීම,රෝහල් ඉදිකිරීම, මංමාවත් ඉදිකිරීම, යටිතල පහසුකම් ලබාදීම වැනි සංවර්ධන වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙස වන්නට වනවා. ශ්‍රමය, ධනය, අධිෂ්ඨානය වැනි දේ කැප කරන්නට සිදුවනවා. අමාරුවෙන් ජනප්‍රිය වන්නට පුළුවන් ක්‍රමය එයයි.

රට භේදබින්න කර, කෝලාහල ඇති කර, සමාජ විනාශයන් නිර්මාණය කර පටු ජාතිවාදයක් මුල් කර ගනිමින් කෙටි මාර්ගයෙන් ජනප්‍රිය වන්නට පුළුවන්. මහනුවර සහ අම්පාර ප්‍රදේශවලින් අපට දැක ගන්නට හැකි වූයේ එවැනි තත්ත්වයක්. මේ සෑම දෙයක් පිටුපසම මහා මොළකාරයන් කණ්ඩායමක් සිටිනවා. මේ පිරිසගේ එකම අරමුණ රට ගිනිබත් කර හෝ තමන්ගේ දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමයි. ඔවුන්ට රට ගැන හැඟීමක් තිබෙන්නේ මාධ්‍ය ඉදිරියේ පමණයි. ඇමරිකාවෙන් ලබා දෙන සිනමා සම්මානයක් වන ඔස්කාර් සම්මානය මේ අයට ලබා දිය යුතුයි. ඒ තරමට මේ අය රංගනයට දක්ෂයි. ඔවුන් මාධ්‍ය ඉදි‍රියේ මහා සිල්වත්, නිහතමානී අය ලෙස කතා කරනවා. නමුත් ගෙදර ගිය පසු රට ගිනිබත් කරන්නට කුමන්ත්‍රණය කරනවා. අම්පාර සහ මහනුවර ප්‍රදේශවල සිදුවීම් එම කුමන්ත්‍රණයේ පියවරක්. මේ රටේ බහුතරයක් ජාතිවාදය , ආගම් වාදය තරයේ හෙළා දකිනවා. එක්සිත්ව, එක්සත්ව, සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත් වන්නට රටේ බහුතරයක් කැමැතියි. තමන් කුමන ජාතියකට, ආගමකට අයිති වුණත් මේ රටේ කිසිදු ජාතිවාදයකට ඉඩක් නැහැ. සැබෑ බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික ජන ප්‍රජාව කිසි දිනක අන්තවාදයට මුල්තැන දෙන්නේ නැහැ. ජාතිවාදය පතුරවා, වෙළඳසැල් ගිනි තබා, මනුෂ්‍ය ඝාතන සිදු කර රට ගොඩ නගන්නට, ආශ්චර්යක් බිහි කරන්නට පුළුවන් කියා කිසිවකු හෝ සිතනවා නම් ඒ මතය මිථ්‍යාවක් පමණයි. එවන් මත කිසි දිනක ජය ගන්නේ නැහැ.

මගේ පියාණන් නියෝජනය කළ මැද කොළඹ ආසනයේ සියලුම ජාතීන් ජීවත් වුණා. මැද කොළඹ ආසනයේ කිසිම ජාතියකට, ආගමකට ප්‍රශ්නයක් ඇති වන්නට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඉඩ තැබුවේ නැහැ. සැබෑ බෞද්ධකම එයයි.

බෞද්ධයෝ යැයි කියාගත් ඇතැම් පිරිසක් මේ රටේ සිටිනවා. මා ඒ පිරිස දකින්නේ කාඩ් බෝඩ් බෞද්ධයන් ලෙසයි. ඔවුන් මාධ්‍ය ඉදිරියේ සැබෑ බෞද්ධයෝයි. සෑම දෙනාම සමගිවන්න, එකමුතු වන්න යැයි මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා. ඔවුන් අනිත් පැත්තට සිදු කරන්නේ රට වනසන කුමන්ත්‍රණයි. අද ශ්‍රී ලංකාවට යන්න එපා යැයි සංචාරක ක්ෂේත්‍රයේ බහුතර බටහිර රටවල් තමන්ගේ පුරවැසියන්ට කියනවා. ගිය වසරේදී මිලියන ගණනක වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණියා. විදේශ විනිමය ලැබී රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණීමෙන් රට සංවර්ධනයට එක්වීම තුළ කණ්ඩායමකට ජනාධිපති, අරලියගහ මන්දිරවලට යෑමට තිබෙන මාර්ග අවහිර වීම හේතුවෙන් ජාති භේදය හරහා රට තුළ ගින්නක් නිර්මාණය කරන්නට තැත් කරනවා.

තමන් සැබෑ බෞද්ධයන් යැයි සිතනවා නම් රට වටේ ගොස් පන්සල්වල චෛත්‍ය ඉදිකරන්න, දහම් පාසල් ගොඩනැගිලි නිර්මාණය කරන්න කියා මා ඔවුන්ට කියනවා. පසුගිය කාලයේදී වයඹ පළාතේ පන්සල් 600 වැසී ගියා. ඒ පන්සල්වල භික්ෂූන් වහන්සේලාට ආධාර උපකාර සිදු කරන්නට කිසිවකු සිටියේ නැහැ. මගේ පියාණන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ආරම්භ කළා. මගේ පියාණන්ගෙන් පසුව පන්සල් සඳහා උදව් උපකාර නොලැබුණ නිසා වයඹ පළාතේ පන්සල් 600ක් වැසී ගියා. මේ වැසී ගිය පන්සල් ගොඩ ගන්නට, දියුණු කරන්නට, ආරක්ෂා කරන්නට බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස කටයුතු කළේ නැහැ.

මහනුවරට ගිහින් කඩ ගිනි තබා, මිනී මැරුම් සිදු කළා කියා කිසිවිටක බෞද්ධ ආගමට ශක්තියක් වන්නේ නැහැ. මේ රටේ බහුතර ජනතාව ලොව්තුරා අප බුදුරජාණන් වහන්සේගේ දහම පිරිසිදුව අනුගමනය කරනවා. උන්වහන්සේ දේශනා කර සිටියේ සියලු සත්ත්වයෝ ආරක්ෂා කර ගන්නට කියායි. බෞද්ධ ආගම ඉතිරි වී අනෙක් ආගම් විනාශ වන්නට කියා උන්වහන්සේ කිසිවිටක දේශනා කර නැහැ.

ආගම, ධර්මය සුරක්ෂා කිරීමට දේශපාලනඥයින් ලෙස අප කටයුතු කළ යුතුයි. අපේ රටේ මහා සංඝරත්නය අප රැකගත යුතුයි. පන්සල් පද්ධතිය සුරක්ෂා කර ගත යුතුයි. එවිටයි බුදු දහම ආරක්ෂා වන්නේ. කඩ ගිනි තබා, මිනී මැරුම් සිදු කළා කියා බෞද්ධ ආගම සුරක්ෂා වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි හිංසනය පිටු දැකීම, සෑම දෙනාම සුවපත් කිරීම, සෑම දෙනාම ආරක්ෂා කිරීම වැනි නිර්මල ප්‍රතිපත්ති රටේ බහුතරයක් දෙනා අනුගමනය කරන්නේ.

රට ගිනිබත් කිරීමට සම්බන්ධ කිහිප දෙනෙක් දැන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් එක් නම්වලින් යුත් බළකායන් තිබෙනවා. ජාති භේදය, ආගම් භේදය ඇවිලීම වෙනුවට රටේ පන්සල් පද්ධතිය ආරක්ෂා කරන ලෙසත්, ගස් යට දහම් අධ්‍යාපනය සිදු කරන දූ දරුවන් වෙනුවෙන් ධර්ම ශාලා ගොඩනැගිලි ඉදිකරන ලෙසත් මා ඒ බළකාවලින් ඉල්ලා සිටිනවා. සැබෑ බෞද්ධකම එයයි.

විවිධ ප්‍රදේශවල ජාති භේදය ඇවිලෙන විට හම්බන්තොට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළා. ගැටුම්, උද්ඝෝෂණ සිදු කරන්නට මේ ප්‍රදේශයේ ජනතාව කටයුතු කළේ නැහැ. නැති දෙයක් අවුලවා ගන්නට අවශ්‍ය නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කය සාමකාමියි. මා ඒ ගැන අතිශයින්ම ආඩම්බර වනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();