ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් (13) ටෝකියෝ නුවරදී පැවැත්විණි.
බෞද්ධාගමික ප්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පළමුව සිය ගෞරවය පුද කළ ජනාධිපතිතුමා, උන්වහන්සේලා හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද සිය සතුට පළ කළේය.
තරුණ පරපුරට අපේ යහපත් සංස්කෘතික වටිනාකම් අවබෝධ කර දෙමින් ශ්‍රී ලාංකික දරු පරපුර යහපත් සහ සදාචාරවත් පරපුරක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ජනාධිපතිතුමා එහිදී ආගමික නායකයින්ට සුවිශේෂි කාර්යභාරයක් පැවරෙන බව ද කියා සිටියේය.
ඉන් අනතුරුව මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු පිරිසක් ද ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපතිතුමා හමුවිය. ඔවුන් එහිදී කියා සිටියේ කවුරුන් කුමන චෝදනා නැගුව ද ශ්‍රී ලංකාව තුළ ස්ථීරසාර සාමයක් උදාකරලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම ඉතා විශිෂ්ට බවත් එම වැඩපිළිවෙළට උපරිම ශක්තියක් වීමට තමන් සූදානම් බවත් ය.
පසුගියදා මහනුවර ප්‍රදේශයේ සිදුවූ සිදුවීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට පුළුල් වැඩකොටසක් ඉටුකරන මේ අවස්ථාවේ ඉතා සුළු පිරිසක් විසින් ඇතිකළ එම නොසන්සුන්තාව පිළිබඳ බෙහෙවින් කනගාටු වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජිත පිරිස කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා ජාති, ආගම් බේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් එක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව රාජ්‍ය නායකත්වයට පත්කර ගත්තේ, සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ මහත් අපේක්ෂාවන් පෙරදැරිව බවයි.
විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහත්වරුන් ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

0 Comments