ක්ෂය රෝගය වැළඳී ඇති බවට හඳුනා නොගත් පුද්ගලයන් 4500 ක් පමණ සමාජය තුළ සිටින බවට සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනෙහි අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය පවසයි.
ක්ෂය රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් 13,000 ක් සායනවලට පැමිණිය යුතු බවට ඇස්තමේන්තු කර ඇති බවත් නමුත් ප්‍රතිකාර සදහා රෝගීන් යොමු වී ඇත්තේ 8511 වැනි සංඛ්‍යාවක් බවත් ඒ මහත්මිය පැවැසුවාය.
ලෝක ක්ෂය රෝග මර්දන දිනය මේ මස 24 වැනිදාට යෙදී ඇත. “ක්ෂය රෝගය නිමාවට නායකත්වයක් - ඉතිහාසයට පුනර්ජීවයක්“ තේමාව යටතේ මෙවර ලෝක ක්ෂය රෝග මර්දන දිනය සැමරීම සිදුකෙරේ. ඒ නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (20) ප්‍රකාශ කළාය.
ජනගහනයෙන් සෑම තුන්දෙනකුගෙන්ම එක් අයකුගේ ශරීරයේ ක්ෂය රෝග විෂබීජය පවතින බවත් මයිකොබැක්ටීරියම් ටියුබකියුලොසිස් බැක්ටීරියාව මඟින් රෝගය බෝ කරන බවත් ඇය පැවැසුවාය.
මානවයාගේ ආරම්භයේ සිට මේ බැක්ටීරියාව ද අනුවර්තනය වෙමින් දිගු ඉතිහාසයක සිට මේ දක්වා පැවැත එන්නේ යැයි ද, රෝගය පවතින පුද්ගලයකුට නිසි ලෙස ප්‍රතිකාර ආරම්භ කර දින දෙකක් ගත වන විට සෙසු පුද්ගලයන්ට රෝගය බෝ කිරීමට පවතින අවදානම පහව යන්නේ යැයි ද ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
කුඩා දරුවන් අතර ද රෝගය පැතිර ගොස් ඇති අතර රෝගය පවතින දරුවන්ගෙන් ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ සියයට 2.9 ක ප්‍රතිශතයක් බවත් එය සියයට 5 ත් 8 ත් අතර ප්‍රතිශතයක් දක්වා වැඩි විය යුතු බවට ඇස්තමේන්තු කර ඇති බවත් වෛද්‍ය ආරියරත්න මහත්මිය කීවාය.
දරුවන්ගේ වර්ධනය අඩු වීම, කෙට්ටු වීම යනාදි රෝග ලක්ෂණ දරුවන් තුළ පවතින්නේ නම් ඕනෑම රෝහලකට ගොස් සෙම පටල පරීක්ෂාවක් කර ගැනීමෙන් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු විය හැකි යැයි ද ඇය පැවැසුවාය.
රෝගය පවතින පුද්ගලයන්ගෙන් සියයට 90 ක් ප්‍රතිකාර සඳහා යොමු කර ගත යුතු වුවත් දැනට ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ සියයට 61 ක පමණ ප්‍රතිශතයක් බවත් එය කනගාටුදායක කරුණක් බවත් ඇය අවධාරණය කළාය.
ප්‍රතිකාර සඳහා යොමු වන පුද්ගලයන් සමාජයෙන් කොන් කිරීම සහ විවිධ මිථ්‍යා මත හේතුවෙන් රෝගීන් ප්‍රතිකාරවලට යොමු නොවී සිටින බවත් එම ආකල්ප බැහැර කර සති දෙකකට වඩා කිසියම් පුද්ගලයකුට කැස්ස පවතින්නේ නම් සෙම පටල පරීක්ෂාවකට ගොස් ක්ෂය රෝගය පවතින්නේ නම් ප්‍රතිකාරවලට යොමු විය යුතු බවට සමාජයෙන්ම බලගැන්වීම කිරීමෙන් රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගත හැකි බවත් ඒ මහත්මිය පැවැසුවාය. රෝග කාරකය ශරීරගත වී ඇති පුද්ගලයන් නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අපේක්ෂා කරන වසර 2035 දි මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට හැකි වනු ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.
මේ අවස්ථාවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, ළය රෝග විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ලක්මාල් රත්නායක, වෛද්‍ය රාමචන්ද්‍රන් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
ඡායාරූපය - සිරිපාල හල්වල

0 Comments