උපන්දින ප්‍රිය සාදයකදී පුද්ගලයකුට අතින් පයින් පහරදී බෝතල් කටුවකින් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් වූ ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂකයකු බව කියන අයෙකු මාර්තු මස විසිදෙවැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට ඊයේ (20) මහර මහේස්ත්‍රාත් හේෂාන් ද මැල් මහතා නියම කෙළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ මනෝජ් ක්‍රිස්ටි යන අය එසේ රිමාන්ඩ් කිරීමට නියම විය.
සිද්ධියෙන් තුවාල ලැබූ ජගත් ප්‍රසන්න යන අය ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ මූලික රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
වත්තල, හුණුපිටිය, සංඝරාජ මාවතේ පදිංචි තුවාලකරුගේ බිරිය වන මල්ලිකා වනිගසිංහ නැමැත්තිය කිරිබත්ගොඩ පොලිසියට කළ පැමිණිල්ල විමර්ශනය කර මෙම සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තුවාලකරුගේ පපුවට පයින් පහරදුන් බවත්, අතින් සැකකරු බෝතල් කටුවකින් ඇන තුවාල සිදුකර ඇති බව සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම සිද්ධියෙන් අනතුරුව පොලිසියට ඉදිරිපත් නොවී ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිට ඇති අතර අද දින සිතාසි මත අධිකරණයේ පෙනී සිටින බව එම පොලිස් නිලධාරීහු පැවසූහ.
මෙම සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවත් තුවාලකරුගේ වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති අතර මෙම සැකකරුවන්ට ඇප ලබාදීමෙන් ප්‍රදේශයේ මහජන විරෝධතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියම කරන ලෙස එම පොලිසියේ නිලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේ සිය සේවාදායකයන් මත්පැන් පානය කැර සිට ඇති අතර තවත් පිරිසක් මෙම සිද්ධිය වීඩියෝ ගතකැර ඇති බව පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දේශපාලනඥයකු බැවින් ඔහු පොලිසියට ඉදිරිපත්වුවහොත් ඔහු රිමාන්ඩ් කරන බැවින් පොලිසියට ඉදිරිපත් නොවූ අතර මෙය සමථ කළ හැකි චෝදනා වන බැවින් සැකකරුවන්ට කොන්දේසි සහිතව ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කෙළේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ උපුල් ගුණසේකර මහතා පෙනී සිටියේය.
මහර සමූහ

0 Comments