තෙල්දෙණිය නගරයේදී ඝාතනයට ලක්වූ අම්බාල පුවක්ගහදිවෙල පුස්ගෝවිට පදිංචි එච්.බී කුමාරසිංහ මහතාගේ නිවසට ජනපති උපදෙස් මත ඊයේ (12) ගිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඔවුන්ගේ පවුලේ සුබ සාධන කටයුතු සියල්ල රජය මගින් සිදුකරන බව දැනුම් දුන්නාය.
මියගිය කුමාරසිංහ දෙදරු පියෙකු වන අතර ඔහුගේ එක් දරුවෙකු අබාධිත තත්ත්වයේ පසුවෙයි. එම දරුවා හේතුවෙන් මවට රැකියාවකට යෑමට නොහැකි අතර ඔවුන්ගේ ජීවිත පෙර පරිදි පවත්වා ගෙන යෑම පිණිස අවශ්‍යය සියලු සහයෝගය රජය ලබාදෙන බව ආණ්ඩුකාරවරිය පවුලේ උදවියට පැවසුවාය.
මෙම 21 වන බදාදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පැමිණෙන ලෙස පවුලේ උදවියට දැනුම් දුන් අාණ්ඩුකාරවරිය එදින මෙම පවුලේ සුබ සාධනය සම්බන්ධයෙන් ගත හැකි පියවර සම්බන්ධව නිලධාරීන් සමඟ සාකච්ඡා කර අදාළ වැඩපිළිවෙළ කඩිනමින් දියත් කරන බව ප්‍රකාශ කළාය.
පසුගිය 22 දින තෙල්දෙණිය නගරයේදී සිදුවූ පහර දීමකින් බරපතළ තුවාල ලත් කුමරසිංහ ඉන් දින 10 කට පසු මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්විය.
මහනුවර ස්ථාන කිහිපයක ප්‍රචන්ඩ ක්‍රියා ඇති වීමටද මෙම මරණය හේතුවූ අතර මේ වන විට පවුලේ උදවිය කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටිති.
අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම පවුල සඳහා රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අතර මූලිකව ඉන් රුපියල් ලක්ෂයක් මුදලක් මෙම සතිය තුළ ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අසේල කුරුළුවංශ හා එස්.කේ සමරනායක

0 Comments